February 8, 2026

රට පුරා මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4,000 කට වැඩි සංඛ්‍යාවක් ගොනුකර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එම අධිකාරියට අනුව, 1998 අංක 28 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතේ විධිවිධාන යටතේ මෙමා නඩු පවරා ඇත.

මේ වන විට, ළමා අපයෝජනයට අදාළ නඩු 4,289ක් මහාධිකරණ ඉදිරියේ විභාග වෙමින් පවතින බව අධිකාරිය සඳහන් කරයි. මෙයින් නඩු 1,683 ක් ඉක්මණින් විභාගයට ගැනීමට නියමිත බවද අධිකාරිය සඳහන් කරයි.

අසභ්‍ය ප්‍රකාශන, ප්‍රසම්පාදනය සහ සූරාකෑම, ලිංගික ක්‍රියාකාරකම් සඳහා ළමයින් බඳවාගැනීම හෝ සේවයේ යෙදවීම, කෲර ක්‍රියා, ස්ත්‍රී දූෂණ සහ බරපතල ලිංගික අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ පුළුල් පරාසයක වැරදි සම්බන්ධයෙන් නීතිපතිවරයා මහාධිකරණවල අධිචෝදනා ගොනුකර ඇත.

ළමයන්ට එරෙහිව සිදුකරන ලද බරපතල අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග දැඩි ලෙස අනුගමනය කරන බවත්, අධිකරණ කටයුතු රට පුරා අඛණ්ඩව සිදුවන බවත් අධිකාරිය අවධාරණය කරයි.