February 7, 2026

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසකට වාහන බලපත්‍ර සහන නැවත ලබා දීමට හෝ පහසුකම් සැලසීමට රජය ගන්නා ඕනෑම පියවරක් පාලන විශ්වසනීයත්වය අඩපණ කිරීමට, මහජන විශ්වාසය දුර්වල කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ උත්සාහය දුර්වල කිරීමට හේතු වනු ඇතැයි ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයන්ට අනුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා මෙම සහන යෝජනා ක්‍රමය යටතේ බලපත්‍ර 1,900ක් දැනටමත් නිකුත් කර ඇති බවත්, 2025 දී පමණක් බලපත්‍ර 563ක් නිකුත් කර ඇති බවත් ඇඩ්වොකාටා ආර්ථික ප්‍රතිපත්ති චින්තන පර්ෂදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතරතුර සාමාන්‍ය පුරවැසියන් දීර්ඝ කාලයක් පුරා වාහන ආනයන තහනමකට මුහුණ දුන් බවත් ලොව පෞද්ගලික වාහන සඳහා ඉහළම බදු කිහිපයක් විඳදරා ගනිමින් සිටින බවත් ඇඩ්වොකාටා පැවසීය.

2026 අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ “බලපත්‍ර නොමැත. ශ්‍රී ලංකාවේ බලපත්‍ර සංස්කෘතිය අවසන් විය යුතුය,” යනුවෙන් බව ඇඩ්වොකාටා සිහිපත් කරයි.

අඩ්වොකාටා සඳහන් කළේ, බලපත්‍ර සංස්කෘතිය නූතන ආර්ථිකයක ලක්ෂණයක් නොව වැඩවසම් ක්‍රමයේ අංගයක් ලෙස පිළිගනිමින් රජයේ එම කැපවීමට ප්‍රසාදය පළකරන බවයි.

එය දශක ගණනාවක් තිස්සේ කාර්ය සාධනයට වඩා වරප්‍රසාද ලබා දී, අසමානතාව මුල් බැස ගත් සහ රාජ්‍යයේ විශ්වසනීයත්වය අඩපණ කළ පද්ධතියක් බවද ඇඩ්වොකාටා පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ශ්‍රී ලංකාව අවසානයේ විනිවිද පෙනෙන සහ සාධාරණ ප්‍රතිසංස්කරණයක් කරා ගමන් කරන බවට නව බලාපොරොත්තුවක් ලබා දුන් බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.

තෝරාගත් කණ්ඩායමකට සහනයක් ලබාදීම ප්‍රතිසංස්කරණ විශ්වසනීයත්වය පිළිබඳ භයානක සංඥාවක් යවන බව ඇඩ්වොකාටා පැවසීය.

එම ආයතනය පවසන්නේ වාහන බලපත්‍රය යනු වන්දියක් නොවන බවයි.

ඒවා අභිමත වරප්‍රසාද වන අතර, වරප්‍රසාද ලත් කිහිප දෙනෙකුට මහජන ධනය සඟවා මාරු කිරීම් ලෙස ක්‍රියාත්මක වන බව ඇඩ්වොකාටා පැවසීය.

ඊටත් වඩා කණගාටුවට කරුණ වන්නේ ඔවුන් විශ්‍රාම ප්‍රතිලාභ දේශපාලන අභිමතය මත තබමින්, වෘත්තීය සිවිල් සේවකයන් වගකිවයුතු රාජ්‍ය සේවකයන්ට වඩා දේශපාලන යැපෙන්නන් බවට පත් කිරීම බව එම ආයතනය පෙන්වා දෙයි.

එබැවින්, ආදර්ශයෙන් මෙහෙයවිය යුත්තේ ඉහළ නිලතල දරන නිලධාරීන් බව ද ඇඩ්වොකාටා පැවසීය.

2010 දෙසැම්බර් මාසයේදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය හෙළි කළේ, කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළුව අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 65 දෙනාගෙන් බහුතරයක්, රුපියල් මිලියන 17 බැගින් වූ ඔවුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා දැමූ බවයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන භාවිත කරමින්, එම අනපේක්ෂිත ලාභය, උද්ධමනය සඳහා සකස් කළ විට, අද රුපියල් මිලියන 48ක් පමණ වන ප්‍රමාණයට සමාන වේ.

2012 දෙසැම්බර් මාසයේදී මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ තීරුබදු රහිත බලපත්‍ර විවෘතව විකිණීමට රජය අවසර ලබා දුන්නේය.

ඒ වන විට, ඔවුන් රුපියල් මිලියන 20කට අලෙවි කළ අතර, එය අද රුපියල් මිලියන 50ක් පමණ වේ.

2016 ඔක්තෝබර් මාසයේදී, නීතිඥවරයෙකු සහ අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු, BMW, මර්සිඩීස් බෙන්ස්, ලෑන්ඩ් කෲසර් සහ හමර් ඇතුළු සුඛෝපභෝගී වාහන ආනයනය කළ මන්ත්‍රීවරුන් 75 දෙනෙකු නම් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යවා තිබිණි.