February 4, 2026

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී, එහි තුන්වැනි ස්ථානය මෙන්ම මෙම තරගාවලියේ Mrs. Photogenic ලෙස ද කිරුළුපළන් සබීනා යූසෆ් අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළිත් මෙරටට පැමිණියාය.

මෙම තරගාවලිය, ලෝකයේ රටවල් 60 ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 01/22 දින සිට 01/29 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්විණි.

සබීනා යූසෆ් අද අලුයම 02.45 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ඇය පිළිගැනීම සදහා මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් මගී පර්යන්තය වෙත පැමිණ සිටියහ.