February 4, 2026

ශ්‍රී ලංකාවට පැමිණි පළමු දිනයේම කොළඹදී තමන්ට රුපියල් 15,000ක වංචාවක් සිදු වූ බව ට්‍රැවල් විත් බල්නූර් නමින් හැඳින්වෙන විදේශීය ඩිජිටල් නිර්මාණ ශිල්පිනියක චෝදනා කර තිබේ.

බල්නූර් සිද්ධිය විස්තර කරමින් කියා සිටියේ ඇය ගාලු පාරේ ඇවිද යමින් සිටියදී දුෂ්කරතා ඇති බව පවසා උදව් ඉල්ලා සිටි පුද්ගලයකු තමා වෙත පැමිණ තමන්ව නැවැත්වූ බවයි.

ඇයට අනුව, එම පුද්ගලයා තමා මනෝජ් ලෙස හඳුන්වා දුන් බවත් ඔහු වයස අවුරුදු 55ක් බවත්, ඉංග්‍රීසි කතා කළ හැකි නමුත් හොඳින් අධ්‍යාපනයක් නොලැබූ අයකු බවත් ප්‍රකාශ කර ඇත.

තම බිරිඳ පිළිකා රෝගියෙකු බවත්, දියණියන් දෙදෙනෙකු ඇතුළු තම පවුල නඩත්තු කිරීමට අරගල කරන බවත් ඔහු ඇයට පවසා ඇත.

තමාට මුදල් අවශ්‍ය නොවන බව මිනිසා අවධාරණය කළ නමුත් අසල ඇති සුපිරි වෙළඳසැලකින් තම බිරිඳට ඉහළ ප්‍රෝටීන් ඇති කිරිපිටි වර්ගයක් මිලදී ගෙන දෙන ලෙස ඉල්ලා සිටි බව බල්නූර් සඳහන් කර තිබේ.

ඔහුගේ කතාව විශ්වාස කරමින්, ඇය ඔහු සමඟ සුපිරි වෙළඳසැලට ගොස් ඇති අතර, එහිදී ඔහු කිරිපිටි, සහල්, පිසින තෙල් සහ පොල් කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක් තෝරා ගෙන තිබේ.

“මට උදව් කරන්න විතරයි ඕන වුණේ,” යනුවෙන් ඇය වීඩියෝවේ සඳහන් කළ අතර, අවසානයේ ඇය භාණ්ඩ සඳහා රුපියල් 15,000ක් පමණ ගෙවූ බව පැවසුවාය.

කෙසේවෙතත්, ඇගේ අත්දැකීම අන්තර්ජාලය හරහා බෙදා ගැනීමෙන් පසු, මෙම පුද්ගලයා තමන් වෙත පැමිණ විවිධ කථා භාවිත කරමින් පිටිකිරි ඉල්ලා සිටි බව සඳහන් වුනු බොහෝ අදහස් ලැබුණු බව බල්නූර් පැවසුවාය.

මෙය පොදු වංචාවක් බවත්, එමිලදී ගන්නා සිල්ලර බඩු භාණ්ඩ ඔහු නැවත මුදලට විකුණනු ලබන බවටත් බොහෝ දෙනා සැක පළකර තිබේ.

“මට රුපියල් 15,000ක් අහිමි වුණා, නමුත් ඊටත් වඩා, මට මගේ විශ්වාසය නැති වුණා,” බල්නූර් පැවසුවේ අන් අයට ප්‍රවේශම් වන ලෙස අනතුරු අඟවමිනි.