February 4, 2026

2012-13 කාලසීමාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් 10ක් මිලදී ගැනීමට සූදානම්වූ අවස්ථාවේ සිදුවූ දූෂිත ගනුදෙනුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(02) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී ඔවුන් දැනුම්දුන්නේ නඩුවේ තුන්වැනි සැකකරු ලෙස චමල් රාජපක්ෂගේ බාල පුත් ශමින්ද්‍ර රාජපක්ෂ නම්කරන ලෙස නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද මෙම නඩුවේ සෙසු සැකකරුවන් වන අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර සිටී.

කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, දැනට අම‍ෙරිකාවේ පදිංචි බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික පොලීසියේ සහාය ලබාගන්නා ලෙසයි.

රතු වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම ගනුදෙනුව කුමක්ද?

2012-13 කාලසීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 13ක් ඉවත්කර ඒ වෙනුවට අලුත්ම යානා 14ක් සේවයට එක්කරගැනීමේ යෝජනාවක් ඉදිරිපත් විය.

එම යානා අතරින් A 330 යානා 6ක් සහ A 350 යානා 4ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කළේය.

මෙම ගනුදෙනුවේ බරපතල වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ 2020 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සිදුකළ විමර්ශනයක තොරතුරු හෙළිවීමත් සමගය.

එයාර් බස් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුව සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක අල්ලසක් ලබාදීමට පොරොන්දු වී තිබූ බව මෙම විමර්ශනයේදී අනාවරණය විය.

එහිදී හෙළිවූයේ ශ්‍රී ලංකන් සමාගමේ එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට මෙම මුදලින් ඩොලර් මිලියන 2ක් බැර කර ඇති බවයි.

පසුව මෙරට සිදුකළ විමර්ශන වාර්තාවක් මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

එම වාර්තාවට අනුව බිරිදට අයත් සමාගමේ නමින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිණුමක් මගින් කපිල චන්ද්‍රසේන අවස්ථා කිහිපයකදී ඕස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිණුමකට මාරුකර යවා තිබිණි.

තවදුරටත් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙරට ගිණුම් දෙකකටද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරුවී ඇතැයි අනාවරණය විය.

එම ගිණුම් දෙක අතර ශමින්ද්‍ර රාජපක්ෂට අයත් බැංකු ගිණුමකට 2013 දී ඇමරිකානු ඩොලර් එක් ලක්ෂය හැට දහසක මුදලක් බැරවී තිබිණි.

මේ සම්බන්ධයෙන් ශමින්ද්‍ර රාජපක්ෂගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ කළද ඔහු ඇමරිකාවේ වාසය කරන බැවින් එය සාර්ථක නොවීය.

හිටපු කථානායක චමල් රාජක්ෂගෙන්ද මීට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මේ අතර මෙම එයාර් බස් ගනුදෙනුව පිළිබඳ තීරණ ගැනීමේදී අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ ශමීන්ද්‍ර රාජපක්ෂ සිටි බවත්, ඊට අදාළ රැස්වීම කථානායක නිල නිවසේදී පවත්වා ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඒ අනුව, විමර්ශන වාර්තා ඇතුළු ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ අතර, ඊයේ ශමීන්ද්‍ර රාජපක්ෂ තුන්වැනි සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.