February 2, 2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තම සාමාජිකයන් කිසිවකු සහභාගී නොවන බව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය ඊයේ(1) ප්‍රකාශ කළේය.

වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අශෝක ගුණරත්න පැවසුවේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් අද (2) සුපුරුදු පරිදි තම රාජකාරි කරගෙන යන බවයි.

රජය තම ඉල්ලීම්වලට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් සඳුදා සිට දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

රට පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සිය ක්‍රියාමාර්ගයට එක්වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසීය.

කෙසේවෙතත්, වෛද්‍ය අශෝක ගුණරත්න එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර, වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ කිසිදු සාමාජිකයකු විරෝධතාවට සහභාගී නොවන බව නැවත අවධාරණය කළේය.