February 1, 2026

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමේ යෝජනාවක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට භාර දී ඇති අතර එය අධ්‍යයනය කරමින් තිබෙන බව වාර්තා වේ.

නීතිමය විධිවිධාන සකස් කළ යුතු බැවින් මෙය ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගතවනු ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති සහ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ ප්‍රකාශ කර ඇත.

මෙම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, මුල් ළමාවිය සංවර්ධන සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය යන ආයතන තුනෙහි තීරණ සහ අදහස් අවශ්‍ය වේ.

මෙම ආයතන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතී.

කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන පවසා ඇත්තේ යෝජනා සම්බන්ධයෙන් මෙම ආයතන සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වන බවයි.

“රට තුළ සමාජීය ගැටලුවක් පවතිනවා, ඒ පිළිබඳ සාක්ෂි සහ තොරතුරු තිබෙනවා. ළමුන් සඳහා සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාව අපි දැනටමත් හඳුනාගෙන ඒ සම්බන්ධ පුළුල් සාකච්ඡා සඳහා සූදානම් වෙමින් සිටිනවා,” යනුවෙන් ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පසුගිය වසරේ අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ළමුන් අතර සමාජ මාධ්‍ය භාවිතය වේගයෙන් සහ බොහෝ දුරට පාලනයකින් තොරව වැඩි වන බවයි.

එය දරුවන්ගේ සෞඛ්‍යයට හා සංවර්ධනයට අහිතකර ලෙස බලපාන බවට ප්‍රබල සාක්ෂි ඇති බව ඔවුන් පෙන්වා දුන්නේය.

ළමුන් සහ තරුණයන් අතර අධික හා පාලනයකින් තොරව සමාජ මාධ්‍ය භාවිතය ආතතිය, මානසික අවපීඩනය, නින්දේ ගැටළු, සයිබර් හිරිහැර කිරීම, අඩු ශාරීරික ක්‍රියාකාරකම්, ශරීර ප්‍රතිරූප අතෘප්තිය, දුර්වල සමාජ අන්තර්ක්‍රියා සහ දිගුකාලීන මානසික සෞඛ්‍ය ගැටලු ඇති කරන බව අන්තර්ජාතික සහ දේශීය පර්යේෂණවලින් පෙනී යන බව වෛද්‍යවරු පැහැදිලි කරති.

එසේම, අවුරුදු 8-12 අතර ළමුන් දිනකට පැය පහක් පමණ ජංගම දුරකථන හෝ පරිගණක තිර ඉදිරිපිට ගත කරන අතර, යෞවනයන් අධ්‍යාපනික නොවන අරමුණු සඳහා දිනකට පැය හතකට වඩා තිර ඉදිරිපිට ගත කරති.

ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති උපදේශක වෛද්‍ය කපිල ජයරත්න පැහැදිලි කළේ 2024/25 කවුන්සිලයේ කාලය තුළ මහාචාර්ය දුලානි සමරනායක සහ වෛද්‍ය රුවනිකා සෙනෙවිරත්නගේ සහාය ඇතිව ‘ඩිජිටල් පරිසරය තුළ ළමා යහපැවැත්ම’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද බවයි.

“ශ්‍රී ලංකාවේ අධ්‍යයනවලින් පෙනී යන්නේ පෙර පාසල් දරුවන්ගෙන් 96%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉලෙක්ට්‍රොනික උපාංගවලට නිරාවරණය වන බවත්, අඩකට වඩා නිර්දේශිත තිර කාලය ඉක්මවා යන බවත්ය. බොහෝ දරුවන් වයස අවුරුදු දෙකකට පෙර උපාංග භාවිත කිරීමට පටන් ගනී. නව යොවුන් වියේ පසුවන්නන් සහ තරුණයන් අතර, සමාජ මාධ්‍ය වේදිකා ඩිජිටල් ක්‍රියාකාරකම්වල ප්‍රධාන ආකාරය වන අතර, සයිබර් ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම, හානිකර අන්තර්ගතය, පෞද්ගලිකත්ව ගැටළු සහ ඇබ්බැහි වූ ඩිජිටල් හැසිරීම් වැඩි වේ’’ යනුවෙන් එම වැඩසටහන මගින් කළ සොයා ගැනීම්වල දක්වා ඇත.

අධික සමාජ මාධ්‍ය නිරාවරණය රජයේ ක්‍රියාමාර්ග අවශ්‍ය වන ළමා සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ ගැටලුවක් ලෙස හඳුනා ගනිමින් ලොව පුරා වේගවත් ප්‍රතිපත්ති වෙනසක් දැනටමත් සිදුවෙමින් පවතී.