January 31, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබන 3 වැනිදා පෙනීසිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තාවේ.

ශිරන්ති රාජපක්ෂ කැඳවා ඇත්තේ සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාලව පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ගැනීමට යැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඇයට මීට පෙර දිනයක පැමිණෙන ලෙස දැනුම්දී තිබුණත් එදිනට පැමිණිය නොහැකි බව පවසා ඇය ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබිණි.

ලබන 3 වැනිදා දිනය ලබාදී ඇත්තේ ඒ අනුවය.

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට එදිනම උදෑසන 9.30ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

කෙසේවෙතත් ඔහුට එරෙහි පැමිණිල්ල කුමක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි දැනගන්නට ඇත.