January 23, 2026

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) හිටපු සභාපති අනූෂ පැල්පිට පෙබරවාරි 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා කියාසිටියේ 2015 වසරේ මාර්තු මස ලැබුණු පැමිණිල්ලකට අනුව සිය කොමිසම විසින් මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

ඉන් අනතුරුව 2026 වසර දක්වා වරින් වර මේ සැකකරුගේ ප්‍රකාශ, දිවුරුම් ප්‍රකාශ සහ ලේඛන ගෙන්වා විමර්ශන සිදු කළ බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ඒ අනුව 2012 වසරේ මාර්තු 31 වැනිදා සිට 2014 වසරේ මාර්තු 31 වැනිදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 46කට ආසන්න වත්කම් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා කියාසිටියේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඔහු පැවසුවේය.

සැකකරු සඳහන් කරන ආකාරයට රුපියල් මිලියන 11ක් ලැබුණු ආකාරය ඔහු විසින් පැහැදිලි කර නොමැති බව සඳහන් කළ එම නිලධාරියා එම මුදල සිය බිරිඳගේ සහෝදරිය හා සහෝදරයෙකු ලබාදුන් බව ප්‍රකාශ කර ඇති බවත් පැවසුවේය.

ඉන් රුපියල් මිලියන තුනක් සැකකරුගේ සහෝදරියක් විසින් ලබාදුන් බව සඳහන් කර ඇති අතර, එම සහෝදරියගෙන් විමසූ විට ඉඩමක් විකුණා අදාළ මුදල සැකකරුට ලබාදුන් බව පැවසුවත්, විකුණු ඉඩම පිහිටා තිබෙන ස්ථානය ප්‍රකාශ කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් අදාළ නිලධාරියා පෙන්වාදුන්නේය.

ඊට අමතරව තවත් මිලියන අටක මුදලක් සහෝදරයකු විසින් ලබාදුන් බව සැකකරු ප්‍රකාශ කළත් එම මුදල ලැබුණු ආකාරය පැහැදිලි කිරීමට ඔහු අසමත් වී තිබෙන බවත් ඔහු පැවසුවේය.

මෙම සැකකරු අදාළ මුදල් උපයාගත් ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට අසමත් වී ඇති බවත්, මේ සිද්ධියට අදාළව සැකකරුගේ බිරිඳගේ, ඇයගේ සහෝදරියකගේ හා සහෝදරයකුගේ ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය බවත් එම නිලධාරියා දැනුම්දුන්නේය.

මෙම සැකකරු ඇපමත මුදාහරිනු ලැබූවොත් එම සාක්ෂිකරුවන්ට බාධා සහ බලපෑම් සිදු කිරීමට හැකියාව පවතින හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කාංචන රත්වත්තේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා විමර්ශනවලට අවශ්‍ය සියලු සහාය ලබා දී තිබෙන බව පැවසුවේය.

මෙම විමර්ශනවලට අවශ්‍ය ලේඛන මීට වසර 11 කට පමණ පෙර සැකකරු විසින් අල්ලස් කොමිසමට ලබාදී ඇති බවත්, සැකකරු කිසිදු අවස්ථාවක සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති බවත් ඔහු පෙන්වාදුන්නේය.

එමෙන්ම සැකකරුගේ ආදායම් උපයාගැනීම්වලට අදාළ ලේඛනයක් ද අද දින නීතිඥවරයා විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්කිරීමට තරම් ප්‍රමාණවත් කාරණා ඉදිරිපත්වී නොමැති හෙයින් ඔහු ඇපමත මුදාහරිණ ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ මෙම සැකකරු විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම මගහැර තිබෙන බවට අල්ලස් කොමිසම විසින් ප්‍රකාශ කර තිබෙන බවයි.

මෙම සැකකරුගේ එම ක්‍රියාකලාපය දෙස සලකා බැලීමේදී ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බැවින්, මෙය ඇප ලබාදිය හැකි වරදක් වුවත් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.

ඒ අනුව සැකකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළේය.