January 23, 2026

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභී විෂයභාර නිලධාරිනිය සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලයේ දත්ත පද්ධතියේ අඩුපාඩු තැන් උපයෝගි කරගනිමින් අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි මුදල් වංචනික ලෙස සිය ගිණුම්වලට බැරකරගෙන ඇති බවට කරුණු අනාවරණය වෙමින් ඇතැයි මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න පවසයි.

ඒ අනුව ආරම්භ කළ මූලික පරීක්ෂණවලින් අස්වැසුම සුබසාධක දීමනා මුදල් රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලක් මෙලෙස ප්‍රතිලාභීන්ට නොදී මෙම නිලධාරිනිය සිය පෞද්ගලික ගිණුම්වලත් හිතමිතුරන්ගේ සහ ඥාතීන්ගේ ගිණුම්වලත් තැන්පත් කරගෙන ඇති බවට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් විසින් හෙළිකර ගෙන ඇති බව ද ලේකම්වරයා පැවසීය.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රදේශයේ ආගමික, ශාසනික සහ මහජන සේවාවන් රැසක් සිදුකෙරෙන අවස්ථාවක ආයතනයේ කිසියම් හෝ අක්‍රමිකතාවක් සිදුවුවහොත් එය සොයාගැනීමට පහසු වීම සඳහා තොරතුරු තාක්ෂණ ඒකකය සවිබල ගන්වා ඇත.

ඒ අනුව සියලුම දත්ත පිළිබඳ සොයාබැලීමක් එම ඒකකය විසින් සිදු කරනු ලැබේ.

එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන වසම් භාර නිලධාරිනියක සිය වසමේ මියගිය පුද්ගලයකු පිළිබඳව හෙළිකළ කරුණු අනුව මෙම අක්‍රමිකතාව අනාවරණය කර ගැනීමට එම අංශයට හැකි වී තිබේ.

ඒ අනුව මෙම වංචාව පිළිබඳව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න දැනුවත් කිරීමට තොරතුරු තාක්ෂණ නිලධාරීන් කටයුතු කර ඇත.

ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම් සහ අදාළ බලධාරීන් දැනුවත් කර එම චෝදනාවට ලක් වූ නිලධාරිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර ආයතනික වශයෙන් මූලික පරීක්ෂණයක් පවත්වා ඇත.

එහිදී මෙම අක්‍රමිකතාව පිළිබඳ කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

මෙම නිලධාරිනිය මියගිය සහ වයෝවෘද්ධ පුද්ගලයින්ගේ ගිණුම් හරහා 2023 වර්ෂයේ සිට මෙම වංචාව සිදුකර ඇත.

එලෙස වංචා කළ රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලක් මේ වන විටත් සොයාගෙන ඇති බවද ඒ පිළිබඳව මැදවච්චිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවද ප්‍රාදේශීය ලේකම්වරයා කියයි.

එහිදී මුදල් ප්‍රමාණය අනුව මැදවච්චිය පොලිසියට වැඩිදුර පරික්ෂණ කළ නොහැකි බව පවසා ඇත.

ඒ අනුව මූලික විමර්ශන වාර්තාව ද රැගෙන ඉදිරියේදී කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ පැමිණිලි කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා කියාසිටී.(දිවයින)