January 16, 2026

එක්සත් ජනපදය මැද පෙරදිග පිහිටි තම කඳවුරුවලින් ඇතැම් පිරිස් ඉවත් කරගනිමින් සිටින බව එක්සත් ජනපද නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශකර තිබේ.

ඒ තම රටට ඇමෙරිකානු ප්‍රහාර එල්ල වුවහොත් අසල්වැසි රටවල පිහිටි ඇමෙරිකානු කඳවුරුවලට පහර දෙන බවට ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනතුරු ඇඟවීමෙන් පසුවය.

ඉතා පුළුල් ලෙස පැවැත්වෙන රාජ්‍ය විරෝධී විරෝධතා සමඟ ඉරානයේ නායකත්වය සටන් කරමින් සිටින මොහොතක, විරෝධතාකරුවන් වෙනුවෙන් මැදිහත් වන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් කරන තර්ජන වළක්වා ගැනීමට ඉරානය උත්සාහ කරමින් සිටියි.

එක්සත් ජනපද නිලධාරියකු පැපවසා ඇත්තේ කලාපීය ආතතීන් උත්සන්න වීම හේතුවෙන් පූර්වාරක්ෂාවක් ලෙස එක්සත් ජනපදය කලාපයේ ප්‍රධාන කඳවුරුවලින් ඇතැම් පිරිස් ඉවත් කර ගන්නා බවයි.

බදාදා සවස් වන විට කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරෙන් පිටව යන ලෙස ඇතැම් කාර්ය මණ්ඩලවලට උපදෙස් දී ඇති බව රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

“මෙය සිටින ස්ථානයේ වෙනසක් මිස ඔවුන් ඉවත් කර ගැනීමේ නියෝගයක් නෙවෙයි,” යනුවෙන් එක් රාජ්‍ය තාන්ත්‍රිකයකු පවසා ඇත.

ස්ථානය වෙනස් කිරීම සඳහා නිශ්චිත හේතුවක් ලබා දී ඇති බව ඔවුන් නොදැන සිටි බව ද ඔහු සඳහන් කර ඇත.

‘වර්තමාන කලාපීය ආතතීන්’ හේතුවෙන් අල් උඩෙයිඩ් ගුවන් කඳවුරෙන් ඇතැම් පිරිස් ඉවත් කර ඇති බව කටාර් බලධාරීන් ද ප්‍රකාශ කර ඇත.

කටාර්හි අන්තර්ජාතික මාධ්‍ය කාර්යාලය පැවසුවේ එරට බලධාරීන් තම පුරවැසියන්ගේ සහ පදිංචිකරුවන්ගේ සුරක්ෂිත බව ඉහළම ප්‍රමුඛතාවක් ලෙස ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර තීරණාත්මක යටිතල පහසුකම් සහ හමුදා මධ්‍යස්ථාන ආරක්ෂා කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවයි.

දෝහා හි එක්සත් ජනපද තානාපති කාර්යාලය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.

එක්සත් රාජධානිය කටාර්හි ගුවන් කඳවුරේ සිටින සිය කාර්ය මණ්ඩල සංඛ්‍යාව ද අඩු කරමින් සිටින බව බීබීසීය වාර්තා කළේය.

“අවශ්‍ය අවස්ථාවන්හිදී පිරිස් ඉවත්කර ගැනීම ඇතුළුව, අපගේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එක්සත් රාජධානිය සෑම විටම පූර්වාරක්ෂාව පියවර ගන්නා බව” රොයිටර්ස් පුවත් සේවයට එහි ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

අල් උඩෙයිඩ් කඳවුර භටයන් 10,000කට පමණ නිවහන සපයන ස්ථානයකි.

පසුගිය වසරේ, එක්සත් ජනපදය ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සතියකට පෙර, මැද පෙරදිග ඇමරිකානු කඳවුරුවලින් ඇතැම් පිරිස් සහ පවුල් ඉවත් කරන ලදී.

ජුනි මාසයේ එක්සත් ජනපද ප්‍රහාරවලින් පසු, ඉරානය කටාර්හි කඳවුරට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

සෞදි අරාබියේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ද තම නිලධාරීන්ට ප්‍රවේශමෙන් ක්‍රියා කරන ලෙස උපදෙස් දී තිබිණි.