January 11, 2026

2010 වසරෙන් පසු උපන් අයට සිගරට් විකිණීම තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කරන ලෙස ඉල්ලා සිටින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආනන්ද රත්නායක පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන්ගේ සහාය ඇතිව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් යෝජනාව රජයට ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.

යෝජිත නීතිය පසුගිය වසරේ මාලදිවයින විසින් සම්මත කළ නීතියට සමාන වනු ඇති අතර, 2007 ජනවාරි 1 වැනිදා හෝ ඉන්පසු උපන් ඕනෑම අයකුට සියලුම දුම්කොළ නිෂ්පාදන විකිණීම, මිලදී ගැනීම සහ භාවිතය තහනම් කරයි.

එවැනි නීතියක් හඳුන්වා දෙන්නේ නම්, එය ශ්‍රී ලාංකිකයන් අතර දුම්පානය පැතිරීම අඩු කිරීම සඳහා දිගුකාලීන පිළියමක් වනු ඇත.

“මාලදිවයින සංචාරක ව්‍යාපාරය මත බෙහෙවින් රඳා පවතිනවා. ශ්‍රී ලංකාවේ දුම්පානය තහනම් කිරීම සංචාරක ව්‍යාපාරයට බලපායි කියලා කවුරුහරි කියනවා නම්, එය සත්‍ය නොවන බව ඔප්පු කිරීමට මාලදිවයින උදාහරණයක්. මාලදිවයිනේ සමස්ත තේමාව වන්නේ ‘ඔබට දුම්පානයෙන් තොර රටකට යා හැකිය’ යන්නයි, දුම්පානය කරන්නන් තිදෙනෙකුගෙන් එක් අයකු අකාලයේ මිය යනවා” යැයි වෛද්‍ය රත්නායක පැවසීය.

වර්තමානයේ සිගරට් අලෙවිය සම්බන්ධ වැටලීම් සිදුකිරීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් සතුව ඇත.

සිගරට් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වත්මන් වයස් සීමාව අවුරුදු 21කි.

මත්පැන් අලෙවිසැල්වලට බලපත්‍ර නිකුත් කරන ආකාරයටම දුම්කොළ අලෙවිය සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස සිගරට් සමාගම් විසින් තරුණ පරම්පරාව ඉලක්ක කර ගන්නා බව වෛද්‍ය රත්නායක පැවසීය.

ඔහුට අනුව, සිගරට් මිල වැඩි කිරීම දිගු කලක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් පවතී.

“සිගරට් එකක මිලෙන් 75%ක් බදු විය යුතුයි. කොවිඩ්-19 තත්ත්වයට පෙර බදු 73% දක්වා වැඩි කර තිබුණා. නමුත් කොවිඩ්-19න් සමයෙන් පපස්සේ බොහෝ නිෂ්පාදන සඳහා බදු වැඩි කළත් සිගරට් සඳහා බදු වැඩි කළේ නැහැ. වර්තමානයේ එම බදු 63%ක් පමණ වනවා, ’’ ඔහු පැවසීය.

සිගරට් සඳහා බදු අය කිරීමේ ක්‍රමය තරමක් සංකීර්ණ බව ඔහු පැවසීය.

බද්ද සිගරට්ටුවේ ප්‍රමාණය මත රඳා පවතී.

එම නිසා සමාගම් කාණ්ඩ මාරු කරමින් සිටී.

බදු 27.5%කින් වැඩි කළත්, සමාගම් සඳහා ලාභය 92% ඉක්මවයි.

එබැවින් රජය සිගරට් බදුවලින් ලැබෙන ආදායම ගණනය කරන ආකාරය ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය වේ.

රජයේ ආදායම සිගරට් බද්දෙන් ලැබෙන බවට ඇති විශ්වාසය මායාවක් වී ඇත.

ඇත්ත වශයෙන්ම, වාර්ෂික සිගරට් ආදායම රුපියල් බිලියන 90කි.

සිගරට් සමාගම්වලින් 80%ක් බ්‍රිතාන්‍යයන් සතුය.

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පනත සංශෝධනය කිරීමට දැනටමත් පියවර ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

දුම්කොළ සහ මධ්‍යසාර පරිභෝජනය ශ්‍රී ලාංකිකයන් අතර රෝග 200ක් පමණ ඇති කිරීමට හේතුවන බව ඔහු පැවසීය.

දුම්කොළ පරිභෝජනය හේතුවෙන් සෑම වසරකම අකාලයේ මියයන පුද්ගලයන් සංඛ්‍යාව 22,000ක් පමණ වන බව ගණන් බලා තිබේ.

දුම්කොළ ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට දැනටමත් වාර්ෂිකව රුපියල් බිලියන 220ක් පමණ වැය වේ.

මෙය සමස්ත ආර්ථිකයෙන් 1.6%ක් පමණ වේ.

අධිකාරිය ඇස්තමේන්තු කර ඇත්තේ දිනකට සිගරට් ෆිල්ටර මිලියන 10ක් ඉවත දමන අතර එය සැළකිව යුතු පාරිසරික අනතුරක් ඇති කරන බවයි.

ෆිල්ටර සහිත සිගරට් පානයෙන් හානිකර රසායනික අවශෝෂණය අඩු කරන බව ද සත්‍යයක් නොවන බව හෙළිවී ඇත.

දුම්කොළ වගා කරන ඉඩම් ආහාර භෝග සඳහා භාවිත නොකරන බවත්, දුම්කොළ වියළීම සඳහා දර අවශ්‍ය වන බවත්, එය පරිසරයට හානි කරන බවත් වෛද්‍ය රත්නායක පැවසීය.