January 1, 2026

ගංවතුරට හසුවී මියගිය කුකුළන් මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් දෙදෙනකු පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තමන් භාරයට ගෙන ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනාට රුපියල් 76,000ක දඩ මුදලක් නියම කළ ආණමඩුව මහෙස්ත්‍රාත්වරිය කුකුළු මස් තොගය විනාශ කිරීමට නියෝග කළාය.

අධිකරණ නියෝග මත කුකුළු මස් තොගය එදින සවස ආණමඩුව ප්‍රාදේශීය සභාවට අයත් කසළ අංගනයේදී විනාශ කිරීම සිදුකෙරිණි.

ආණමඩුව – හලාවත මාර්ගයේ සේරුකැලේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කුකුළු මස් කිලෝ ග්‍රෑම් 120ක් තම භාරයට ගෙන ප්‍රශ්න කිරීමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙම ජාවාරම ගැන හෙළි වී ඇත.

මෙම සැකකරු ජා ඇල – දඬුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුව ඔහුගෙන් ලැබූ තොරතුරු මත පල්ලම – සේරුකැලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ගංවතුර හසුවූ කුකුළු කොටුවල මියගිය කුකුළන් ගෙනවිත් පිරිසිදු කර පොලිතින් මලුවල අසුරා අලෙවි කිරීමට සූදානම් කර අධිශීතකරණයක දමා තිබිය දී සොයාගෙන තිබේ.

ගංවතුර හේතුවෙන් මියගිය කුකුළන් ගෙනවිත් පිරිසිදු කර අධිශීතකරණවල දින කීපයක් තබාගෙන පල්ලම නවගත්තේගම, ආණමඩුව,ගල්ගමුව වැනි ප්‍රදේශවල ආපන ශාලා සහ උත්සව සඳහා ආහාර සැපයුම් කරන ස්ථානවලට ඉතා අඩු මිලට අලෙවි කිරීමට කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීකක්ෂකවරුන් විසින් මෙහිදී අනාවරණය කරගෙන ඇත.(දිවයින)