December 31, 2025

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා වන තීරුබදු වසරක කාලයක් සඳහා දැනට පවතින මට්ටම්වලින් 12% දක්වා අඩුකරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමුකර තිබේ.

දිට්වා සුළි කුණාටුවට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද රජය විසින් සපයන ලද ත්‍යාගශීලී සහ කාලෝචිත සහාය සඳහා හිටපු අමාත්‍ය අලහප්පෙරුම සිය ලිපියෙන් සිය කෘතඥතාව පළකර තිබේ.

අත්‍යවශ්‍ය සහන සැපයුම් සැපයීම සඳහා හමුදා ගුවන් යානා යෙදවීම සමඟ ඩොලර් මිලියන 2ක හදිසි ආධාර, ස්වාභාවික ව්‍යසනය මධ්‍යයේ අඛණ්ඩ සහන කටයුතු සඳහා සහාය වීමට උපකාරී වී ඇති බව හිටපු අමාත්‍යවරයා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් වෙත යැවූ ලිපියේ සඳහන් කළේය.

රටට සහ ජනතාවට, විශේෂයෙන් දරුවන්ට සිදු වූ විනාශය සැළකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා පවතින තීරුබදු අනුපාතය අඩුකිරීම සළකා බලන ලෙස හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේය.

ඉලක්කගත සහන මගින් ප්‍රධාන අපනයන අංශවලට සහාය වීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සැළකිව යුතු ලෙස ශක්තිමත් කරනු ඇති අතර, යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට, ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීමට සහ මෙම තීරණාත්මක කාලය තුළ දැඩි අවශ්‍යතා ඇති දරුවන්ට සෘජුවම ප්‍රතිලාභ ලබාදීම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට හැකියාව ලැබෙන බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජනපද රජය තීරුබදු අනුපාතය අඩු කිරීමට එකඟවුවහොත්, එම සහනයක වාර්ෂික මූල්‍ය වටිනාකම අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන තනි අරමුදල් වාරිකයක වටිනාකම ඉක්මවා යනු ඇතැයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව දැවැන්ත අභියෝගයකට මුහුණ දී නැවත වරක් තම දෙපයින් නැගීසිටීමට උත්සාහ කරන විට, එවැනි කරුණාවන්ත සහ සහයෝගීතාවයේ ක්‍රියාවක් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අසාමාන්‍ය වෙනසක් ඇතිකරනු ඇතැයි හිටපු අමාත්‍යවරයා පැවසීය.