December 30, 2025

චීන මහජන විමුක්ති හමුදාව තායිවානය ආසන්නයේ ආරම්භ කළ යුද අභ්‍යාසය සම්බන්ධයෙන් තායිවානය ප්‍රතිචාර දක්වා තිබිණි.

ඒ අනුව තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ පැවසුවේ චීන මහජන විමුක්ති හමුදාවේ ප්‍රකෝපකාරී ක්‍රියා කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් බවයි.

‘Justice Mission 2025’ යන සංකේත නාමයෙන් හඳුන්වන මෙම අභ්‍යාසවලට චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර විධානයේ අණදෙන නිලධාරියා තම හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ රොකට් බලකායේ භටයන් පිටත් කර යවා තායිවාන් සමුද්‍ර සන්ධියේ සහ තායිවානයේ උතුර, නිරිතදිග, ගිනිකොන සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීම සිදු කරයි.

එමෙන්ම තායිවානය පවසන්නේ ඉකුත් අඟහරුවාදා තායිවානය වටා මුහුදු සහ ගුවන් සීමාවේ චීන හමුදාවට අයත් ගුවන් යානා 130 ක් සහ යාත්‍රා 14 ක් මෙන්ම නෞකා 8 ක් නිරීක්ෂණය කළ බවයි.

කෙසේවෙතත් ඉකුත් සඳුදා තායිවානය ද වේගවත් ප්‍රතිචාර අභ්‍යාස පැවැත්වූ අතර, සියලුම සේවාවන් සහ තායිවාන් වෙරළාරක්ෂක බලකාය සමඟ ඒකාබද්ධ මුහුදු සහ ගුවන් මෙහෙයුම් ද දැඩි ලෙස සීරුවෙන් තබා ඇති බව පැවසීය.