December 17, 2025

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විනාශ වූ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට වසරක පමණ කාලයක් ගතවනු ඇති බව තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පෙනීයන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන ‘දිවයින’ පුවත්පතට පවසා ඇත.

සමස්ත දුම්රිය මාර්ග පද්ධතියට වූ හානිය රුපියල් බිලියන 340ක් පමණ බව ද ඇමැතිවරයා පෙන්වාදෙයි.

පේරාදෙණිය කළු පාලම දැඩි ලෙස හානි වී නැතත් එම පාලමේ අඩිතාලම මෙන්ම රඹුක්කන – මහනුවර දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකට දැඩි හානි සිදුවී ඇති නිසා ඉන්ජිනේරුවන් මගින් නිසි තක්සේරුවක් කර දුම්රිය මාර්ගය සකස් කළ යුතු යැයි ද හෙතෙම සදහන් කරයි.

දුම්රිය මාර්ගය නිසියාකාරව වගකීම් සහිතව ඉදිකර දුම්රිය ධාවනය කළයුතු බවත්, එසේ නොකර කඩිනමින් දුම්රිය මාර්ගය සකස් කර දුම්රිය ධාවනය කරවීම දුම්රිය මගීන්ගේ ජීවිත අනතුරට ලක්වීමට ඉඩ සැලසීමක් විය හැකි බවත්, ඒ නිසා එවැනි තත්ත්වයක් ඇතිනොවන ලෙස කාලය කළමනාකරණය කර දුම්රිය මාර්ගය ඉදිකිරීම රජයේ වගකීම බවත් ඔහු පවසයි.

මේ වනවිට දුම්රිය මාර්ගවලට සිදුවූ හානිය රුපියල් බිලියන 340ක් පමණ බව දළ ඇස්තමේන්තු අනුව පෙනීයන්නේ යැයි ද, එය අවසන් තක්සේරුව නොවන්නේ යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කර සිටියේය.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ තවත් ස්ථාන කිහිපයකම විශාල වශයෙන් නායයෑම් හේතුවෙන් කොටගල සිට අඹේවෙල දක්වා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම අතිදුෂ්කර බව දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉන්ජිනේරුවරු කියා සිටිති.

නායයෑමට ලක්වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටින නානුඔය දුම්රිය ස්ථානයේ සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉන්ජිනේරුවන් සහ සේවකයන් කියාසිටින්නේ කොටගල, ග්‍රේඩ්වෙස්ටන්, නානුඔය, පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ කඳු සහ බෑවුම් සහිත ස්ථානවල දුම්රිය මාර්ගයේ මීටර් 50 සිට 100 දක්වා කොටස් නාය ගොස් ඇති බවයි.

ග්‍රේඩ්වෙස්ටන් කඳුවැටියට පහළින් නායගිය ස්ථානයේ පස් පිරවීමට හෝ දුම්රිය මාර්ගය අලුතින් වෙනත් ස්ථානයකින් කැපීමට නොහැකි තත්ත්වයක් පවතින බවත්, පවත්නා තත්ත්වය මත කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට දිගු කාලයක් ගතවන බවත් ඉන්ජිනේරුවරු කියා සිටියහ.

දුම්රිය මාර්ගය නායයෑමත් සමග දුම්රිය පීලි සහ සිල්පර කොටවලට දැඩි අලාභහානි සිදුවී ඇත.

නාවලපිටියේ සිට කොටගල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව සේවා දුම්රියක් 16දා කොටගල දක්වා ධාවනය කළ අතර තවත් සේවා දුම්රියක් බණ්ඩාරවෙල සිට අඹේවෙල දක්වා 15දා ධාවනය කර ඇත.(දිවයින)