December 14, 2025

නොවැම්බර් 25 වැනිදා නිකුත් කරන ලද අනතුරු ඇඟවීමෙන් පසුව, ආපදා කළමනාකරණ ක්‍රමවේදයන්ට අනුකූලව රජය සම්පූර්ණයෙන්ම ක්‍රියා කළ බව ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සඳහා විපක්ෂය කළ ඉල්ලීම් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ (13) ප්‍රතික්ෂේප කළේය.

නොවැම්බර් 12 සහ 18 යන දිනවල නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් සුළි කුණාටුවක් බවට පත් නොවනු ඇති බවත්, අඩු පීඩන පද්ධතියක් හෝ අවපාතයක් ඇතිවීමේ හැකියාව පමණක් පෙන්වා දුන් බවත් ඔහු අවධාරණය කළේය.

නොවැම්බර් 25 වැනිදා තහවුරු කරන ලද අනතුරු ඇඟවීමෙන් පසුව ක්‍රියාත්මක කරන ලද හදිසි ප්‍රතිචාර මට්ටමට සමාන හදිසි ප්‍රතිචාරයක් එම පෙර අනතුරු ඇඟවීම්වලට අවශ්‍ය නොවන බව අමාත්‍යවරයා පැවසීය.

“ආපදා කළමනාකරණ ව්‍යුහයන් පරීක්ෂා කිරීම සඳහා වෙනම පාර්ලිමේන්තු ත්රීම් කමිටුවක් පත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මා දකින්නේ නැහැ, මොකද මේ ඉල්ලීම දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වී තිබෙන එකක්. මුළු රටම පෙර නොවූ විරූ පරිමාණයකින් ගංවතුර සහ නායයෑම්වලට මුහුණ දී ඇති බව හඳුනාගෙන ඇති අවස්ථාවකයි එය ඉදිරිපත් වන්නේ,” යනුවෙන් අමාත්‍ය විජේපාල සඳහන් කර තිබේ.

“රජයේ අවසාන ස්ථාවරය කුමක් ද කියලා මට අනාවැකි කියන්න බැරි වුණත් මගේ පෞද්ගලික මතය නම් අතිරේක අධීක්ෂණ ආයතනයක් ඒ වගේ ව්‍යසන සඳහා ප්‍රතිචාරය අර්ථවත් ලෙස වැඩිදියුණු කරන එකක නැහැ කියලයි,” ඔහු තවදුරටත් පැවසීය.

“අප අත්වින්දේ ශ්‍රී ලංකාවේ කලාතුරකින් දක්නට ලැබෙන විශාල ස්වාභාවික විපතක්. නොවැම්බර් 12 සහ 18 යන දිනවල අනතුරු ඇඟවීම් අවසානයේ සුළි කුණාටුවක් බවට පත් වුණේ නැති බව සැළකිල්ලට ගැනීම වැදගත්, නමුත් නොවැම්බර් 25 වැනිදා පෙ.ව. 10ට නිකුත් කරන ලද අනතුරු ඇඟවීම නිවැරදි බව ඔප්පු වුණා. වහාම ස්ථාපිත ක්‍රියාපටිපාටිවලට අනුකූලව අදාළ සියලුම ආපදා ප්‍රතිචාර යාන්ත්‍රණ සක්‍රීය කරන්න එය හේතුවුණා” යනුවෙන් නොසැළකිලිමත්කම පිළිබඳ චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර තිබේ.

නොවැම්බර් 25 වැනිදා අනතුරු ඇඟවීම ලැබුණු පසු, රජය කඩිනමින් හා දැඩි ලෙස ක්‍රියාපටිපාටිවලට අනුකූලව පියවර ගත් බව අමාත්‍ය විජේපාල තවදුරටත් පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පොලිසිය, සන්නද්ධ හමුදා සහ අනෙකුත් අදාළ ආයතන අනතුරු ඇඟවීම් බෙදා හැරීමට සහ හදිසි ප්‍රතිචාර සඳහා සූදානම් වීමට සමීපව සම්බන්ධීකරණය කළ බව ඔහු සඳහන් කළේය.

“ඉවත් වන ලෙස ඉල්ලා සිටින මහජන නිවේදන අවම වශයෙන් තුන් වතාවක් නිකුත් කෙරුණා. වර්ෂාපතනය තීරණාත්මක සීමාවන් ඉක්මවා ගියහම අධි අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට ජංගම දුරකථන අනතුරු ඇඟවීම් වොමු කෙරුණා, ජනතාවට සෘජුවම දැනුම් දීම සඳහා පොලිස් නිලධාරීන් භූමියේ යොදවා සිටියා. නායයෑම් නොවැම්බර් 26 වැනිදා රාත්‍රියේ ආරම්භ වුණේ,” ඔහු පෙන්වා දුන්නේය.

“නිල දත්ත පැහැදිලිව පෙන්නුම් කරන්නේ වාර්තාගත මරණවලින් 95%ක් පමණ නායයෑම් නිසා සිදුවී ඇති බවයි, ගංවතුර හෝ ගස් කඩා වැටීමෙන් සිදුවන මරණ සාපේක්ෂව අඩුයි, එයින් පෙන්නුම් කරන්නේ හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශවල ඉවත් කිරීමේ උපදෙස්වලට වැඩි වශයෙන් අනුකූල වීම නිසා ජීවිත හානි සැලළකිව යුතු ලෙස අඩු කර ගත හැකි වී තිබෙන බව.” යැයි ඇති වූ බලපෑම ගැන සඳහන් කරමින් අමාත්‍යවරයා පැවසීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අවදානම් සිතියම්වල කලින් හඳුනාගෙන නොමැති ස්ථානවල නායයෑම් වාර්තා කර ඇති බවත්, එමඟින් ව්‍යසනයේ පරිණාමය වන සහ අනපේක්ෂිත ස්වභාවය අවධාරණය කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

පුරෝකථනය කිරීමේ සීමාවන් අවධාරණය කරමින්, ඔහු පැවසුවේ, එහි ස්වභාවයෙන්ම, පූර්ව අනතුරු ඇඟවීමක් මගින් පෙන්නුම් කළේ ව්‍යසනයක් සිදුවිය හැකි බව වන අතර එය නිශ්චිතවම සිදුවන්නේයැයි නොවන බවයි.

දේශපාලන විවේචන වෙත යොමු වෙමින් අමාත්‍ය විජේපාල චෝදනා කළේ, විපක්ෂය දේශපාලන වාසියක් සඳහා මෙම ව්‍යසනයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන බවයි.

“කිසිම පද්ධතියක් හෝ උපාය මාර්ගයක් පරිපූර්ණ නැහැ. අපි පවතින තොරතුරු සහ සම්පත්වල සීමාවන් තුළ වැඩ කරන සාමාන්‍ය පුද්ගලයන්. අනාවැකි මිලිමීටර් 100ත් 200ත් අතර වර්ෂාපතනයක් පුරෝකථනය කළත් සමහර ප්‍රදේශවලින් මිලිමීටර් 400ට වඩා වැඩි වැසි වාර්තා වුණා. වඩා හොඳ පුරෝකථන දත්ත සමඟ ඇතැම් තීරණ වෙනස් අයුරින් ගන්නවා, එම අවස්ථාවේ තිබූ තොරතුරු මත පදනම්ව ස්ථාපිත ක්‍රියාපටිපාටිවලට අනුකූලව රජය කළ හැකි උපරිමය කළා” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.