December 14, 2025

දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමේ දී රජය රුපියල් බිලියන 1000ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

දිට්වා සුළි කුණාටුවට අදාළ සහන කටයුතු සඳහා අවශ්‍ය හදිසි අරමුදල් සඳහා අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ අගමැතිනි හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි කථානායක ජගත් වික්‍රමරත්න විසින් සභාවේ විශේෂ රැස්වීම කැඳවා ඇත.

ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ නිකුත් කරන ලදී.

පාර්ලිමේන්තු හදිසි රැස්වීමක් පැවැත්විය යුතු බව පොදුජන එක්සත් පෙරමුනේණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද මීට පෙර රජයෙන් ඉල්ලෙමක් කර තිබිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ රජයේ ඉල්ලීම රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් වුවත් සුභසාධන ගෙවීම් මෙන්ම හදිසි අලුත්වැඩියා කටයුතු සඳහා වන නව ඇස්තමේන්තු ගණනය කිරීමෙන් පසු මෙම මුදල දෙගුණ වී ඇති බවයි.

පරිපූරක ඇස්තමේන්තුව දෙසැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාද කර 19 වැනිදා ඡන්ද විමසීමකට ලක් කෙරෙන අතර ඉන්පසුව සභාව 2026 ජනවාරි 6 වැනිදා දක්වා කල් තැබීමට නියමිතය.

පරිපූරක ඇස්තමේන්තුව 2026/2027 අයවැය වර්ෂය ආවරණය කිරීමට නියමිත අතර, ඇතැම් යටිතල පහසුකම් කටයුතු 2027 දක්වා දීර්ඝ කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

වියළි සලාක දීමනා සහ නිවාස දීමනා ලබාදීම, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් සමීක්ෂණ පැවැත්වීම සහ අනෙකුත් සහන සහ ප්‍රතිසාධන කටයුතු සිදු කිරීමට ක්ෂණික අරමුදල් අවශ්‍ය වී තිබේ.

ආපදා කළමනාකරණය සඳහා විශේෂ ජාතික කවුන්සිල රැස්වීමක් ජනාධිපතිවරයා හෙට පවත්වනු ඇති අතර, ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ආරාධනා කර ඇත.

2004 සුනාමියෙන් පසු 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත යටතේ කවුන්සිලය පිහිටුවා ඇතත් එය බොහෝ දුරට අක්‍රියව පවතී.

මෙම නීතියට සංශෝධන කිහිපයක් අවශ්‍ය වූ බවත්, මේ පිළිබඳ කවුන්සිල රැස්වීමේදී සාකච්ඡා කරන බවත් රජයේ ආරංචි මාර්ග පැවසීය.

ජනාධිපතිවරයා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, එහි නිල බලයෙන් පත් කරන ලද සාමාජිකයන් අතරට අගමැති (උප සභාපති), විපක්ෂ නායක, අදාළ විෂය අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් (හෝ ඔවුන් නොමැති විට ආණ්ඩුකාරවරුන්) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු හෝ පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද විශේෂඥයන් කවුන්සිලයට ඇතුළත් වේ.

කවුන්සිලය අවසන් වරට රැස්වූයේ 2025 අගෝස්තු මාසයේදී වන අතර, එහිදී, පවතින දේශගුණය ආශ්‍රිත අභියෝග සැළකිල්ලට ගනිමින්, ආපදා කළමනාකරණ යාන්ත්‍රණ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා කළ අතර, සමකාලීන අවශ්‍යතා සහ මතුවන අවදානම් පිළිබිඹු කිරීම සඳහා පවතින නීති සංශෝධනය කළ යුතු බවට නිගමනය කළේය.