December 12, 2025

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ටිකට්පත් අලෙවිය ආරම්භ කරන බව ඊයේ නිවේදනය කළ අතර, තරග නැරඹීමට ප්‍රවේශය වැඩි කිරීම සඳහා ආරම්භක මට්ටමේ ටිකට්පත් මිල ගණන් මෙතෙක් ඉතිහාසයේ තිබූ මට්ටම්වලට වඩා අඩුම මට්ටමකින් ආරම්භ කිරීමට නියමිතය.

ඉන්දියාවේ ඇතැම් ක්‍රීඩාංගණවල ප්‍රවේශපත්‍ර මිල රුපියල් 100කින් සහ ශ්‍රී ලංකාවේ රුපියල් 1000කින් ආරම්භ වනු ඇත.

මෙම 10 වැනි තරඟාවලියට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරනු ලබන අතර, පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ස්ථාන අටකදී තරඟ පැවැත්වේ.

තරඟාවලියේ ආරම්භක තරඟය පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර කොළඹදී පැවැත්වෙන අතර, ඉන්පසුව කොල්කටාහිදී බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වෙනු ඇත.

ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තරගය මුම්බායිහිදී පැවැත්වේ.

ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේ තරග නැරඹීමට රසිකයන්ට ඇති ප්‍රධාන බාධකයක් වන ප්‍රවේශපත්‍ර මිල ICC විසින් I වැනි අදියරේදී ඉතා දැරිය හැකි මිලකට අඩු කර ඇත.

ඒ අනුව ඉන්දියාවේ රුපියල් 100 සිටත් ශ්‍රී ලංකාවේ රුපියල් 1000 සිටත් වන මිල ගණන් සමගින් මිලියන 2කට අධික ටිකට්පත් අලෙවිය ආරම්භ වී ඇත.

“මෙතෙක් පැවති ICC ඉසව්වකදී වැඩිම ප්‍රවේශයක් ලබාදීමට යන ගමනේ ප්‍රධාන වැදගත් සන්ධිස්ථානයක් වන්නේ ප්‍රවේශපත්‍ර අලෙවියේ පළමු අදියරයි ” යැයි ICC ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා පැවසීය.

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා අපගේ දැක්ම පැහැදිලියි. පසුබිම, භූගෝලීය හෝ මූල්‍යමය මාර්ග නොසළකා සෑම රසිකයකුටම ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩාංගණයක සිට ලබන අත්දැකීමක් සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව තිබිය යුතුයි.” ඔහු පැවසීය.

“අපගේ උපාය මාර්ගයේ කේන්ද්‍රස්ථානය වන්නේ රුපියල් 100 සිට රුපියල් 1000 දක්වා ටිකට්පත් නිකුත් කරමින් දැරිය හැකි මිලකට ලබා දීමයි. මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය තරගාවලියක කොටස්කරුවන් වීමට මිලියන ගණනකට ආරාධනා කිරීමක්, දුර සිට නරඹන්නන් ලෙස නොව, ක්‍රීඩාංගණයකට පමණක් පැමිණ ලබා දිය හැකි ශක්තිය, හැඟීම් සහ ක්‍රියාකාරී සහභාගිවන්නන් වීමට අවස්ථාවක් .

කණ්ඩායම් 20ක් සහ තරඟ 55ක් ඇතුළත් 2026 තරගාවලිය ඉතිහාසයේ වඩාත්ම බලාපොරොත්තු සහගත සහ වදිමපිරිසකට ප්‍රවේශය ඇති T20 ලෝක කුසලානය වෙයි. තරඟකාරී විශිෂ්ටත්වය සඳහා පමණක් නෙවෙයි රසික අත්දැකීම් සහ ප්‍රවේශය සම්බන්ධයෙනුත් එය නව මිණුම් ලකුණක් සකස් කරන බවට ඇතැයි අපි විශ්වාස කරනවා. ” යනුවෙන් ගුප්තා පැවසීය.

අඩුමිල ටිකට්පත් සමඟින්, 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය වටා ඇති උද්යෝගය බොහෝ ගුණයකින් වැඩි වනු ඇත.

“ඉන්දියාව සමඟ එක්ව මෙම තරගාවලියට සම සත්කාරකත්වය දැරීමට ලැබීම ගැන අපි අතිශයින් ආඩම්බර වනවා, ලොව පුරා සිටින රසිකයන් අපගේ ක්‍රීඩාංගණවලට පිළිගැනීමට අපි උනන්දුවෙන් බලා සිටිනවා.” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසීය.

“ප්‍රවේශපත්‍ර අලෙවියේ පළමු අදියර දැන් විවෘතයි, එක මොහොතක්වත් අතපසු නොකිරීමට වග බලා ගැනීම සඳහා අපි සියලු දෙනාම දිරිමත් කරන්නේ ඉක්මනින් තම ආසන වෙන්කරවා ගන්නා ලෙසයි.’ ඔහු පැවසීය.

කණ්ඩායම් 20ක් තරඟ වදින මෙම තරඟාවලිය, කණ්ඩායම් අදියර තරඟවලින් ආරම්භ වන තරඟ 55ක ක්‍රියාකාරී කාලසටහනක් ලබා දෙනු ඇත.

නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය (අහමදාබාද්), එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගණය (චෙන්නායි), අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණය (නවදිල්ලි), වන්කඩේ ක්‍රීඩාංගණය (මුම්බායි), ඊඩන් ගාර්ඩන්ස් (කොල්කටා), ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය(කොළඹ), සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණය(කොළඹ) සහ පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය (මහනුවර) යන ක්‍රීඩාංගණවලදී මාසයක කාලයක් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.