December 3, 2025

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ සාකච්ඡාවක් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති ඇන්ඩෲ ස්නෝඩන් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර අතර ඊයේ (02) පැවැත්වී තිබේ.

“ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිවරයා ලෙස, බලපෑමට ලක් වූ සියලු දෙනා වෙනුවෙන් අපගේ බහු පාර්ශවීය සහයෝගය ප්‍රකාශ කළා. එක්සත් රාජධානියේ රජය හදිසි අවස්ථා සඳහා වෙන්කර ඇති £675k සහ නැවත ගොඩනැගීම සහ අලුත්වැඩියා කිරීම සඳහා දිගු කාලීනව අවශ්‍ය වන්නේ කුමක්ද යන්න පිළිබඳ අපි සාකච්ඡා කළා,” යනුවෙන් ඔහු ‘X’ හි සටහනක් තබමින් පැවසීය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩෲ ස්නෝඩන් පැවසුවේ, ලබා දිය හැකි සියලු ආධාර හැකි ඉක්මනින් සිදු කරන බව සහතික කිරීම සඳහා සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් රාජධානියේ රජය සමඟ කටයුතු කරන බවයි.

මේ අතර, විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය වීමට එක්සත් රාජධානියේ රජය විසින් අමෙරිකානු ඩොලර් 890,000ක පරිත්‍යාගයක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෘතඥතාව පළ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වැඩබලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් තෙරේසා ඕ’මහෝනි සමඟ ඊයේ පැවති හමුවකදී අමාත්‍ය හේරත් සිය කෘතඥතාව පළ කළේය.

රැස්වීමෙන් අනතුරුව, තෙරේසා ඕ’මහෝනි පැවසුවේ එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් සිටින බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධන කටයුතු සඳහා සහයෝගය ලබා දෙන බවත්ය.

“අපගේ පවුම් 675,000ක ආධාරය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අපගේ කල් පවතින හවුල්කාරීත්වය සහ මිත්‍රත්වය පිළිබිඹු කරනවා,” යනුවෙන් ඇය ‘X’ හි සටහනක තවදුරටත් පැවසුවාය.