December 2, 2025

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය වසර 20කටත් වඩා සේවා කාලයක් ඇති දක්ෂ ගුවන් නියමුවෙකි.

ඔහු වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයට ගුවන් යානය පදවාගෙන ගියේ එම ස්ථානයේ විපතට පත්වී සිටි ජනතාවට ගුවනේ සිට ආහාර ලබාදී තවත් ස්ථානයකට යෑමට වුවත් හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා ඔහු එහි රැස්ව සිටි ජනතාවටත් හානියක් නොවන පරිදි බෙල් 212 හෙලිකොප්ටර් යානය ආරක්ෂිත ස්ථානය වන ගිං ඔයට පහත් කිරීමට ගොස් අනතුරට පත්වීමෙන් ඔහුගේ ජීවිතය අහිමි වෙන්නට ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ පැවසීය.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා උසස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් 09 දෙනකුගෙන් යුත් කමිටුවක් ගුවන් හමුදාපතිවරයා විසින් පත්කර තිබෙන බවද හෙතෙම පැවසීය.

වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 2005 වසරේ ගුවන් හමුදාවට බැඳුණු වින්ග් කමාන්ඩර් නිර්මාල් වසර 20කට වඩා සේවා කාලයක් මෙන්ම ගුවන් පියාසර පැය 3000කට වඩා පියාසර කළ දක්ෂ ගුවන් නියමුවෙකි. 41 හැවිරිදි වියේ පසු වූ ඔහු බෙල් 212 හෙලිකොප්ටර් යානයෙන් සහාය නියමුවා සහ තවත් තිදෙනකු සමග ගුවන්ගත වන්නේ පෙරේදා (30දා) සවස 5.40ට පමණය.

දින කිහිපයක් තිස්සේ විපතට පත් ජනතාව මුදාගැනීමට සහ ඔවුන්ට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 09ක් යොදා තිබූ අතර ඉන් එක් යානයක ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළේ නිර්මාල් සියඹලාපිටිය ය.

ඔහු ඇතුළු කණ්ඩායමට පැවරී තිබුණේ ලුණුවිල ප්‍රදේශයට සහ තවත් ස්ථාන කිහිපයකට ආහාර ලබාදීමටය.

මෙම හෙලිකොප්ටර් යානයෙන් රැගෙන ගිය ආහාර පාර්සල් අඩි 75ක පමණ උසක සිට බිමට මුදාහැර නැවත වෙනත් ස්ථානයකට යෑමට උත්සාහ කළ අවස්ථාවේ හෙලිකොප්ටරයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් නිසා එය අනතුරට පත්වන්නට ඇති බවට සැකකරන බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයෙන් පසු අනතුර පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගීගනගේ කීය.

මියගිය සියඹලාපිටිය වෙන්නප්පුව ප්‍රදේශයේම ඉපිද වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අයහපත් කාලගුණයෙන් එම ප්‍රදේශයේම විපතට පත් ජනතාවට සේවය කිරීමට ගොස් ජීවිතය අහිමිවීම දෛවයේ සරදමක් දැයි කෙනකුට සිතිය හැකිය.

වෙන්නප්පුව කිරිමැටියාන තුලාවල ඔහුගේ ගම් ප්‍රදේශයයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා කටයුතු පිළිබඳ Master of Arts in International Relations, International Relations and Affairs උපාධිධරයකු වූ නිර්මාල් තම වැඩිදුර අධ්‍යාපනය සඳහා London Metropolitan University ඇතුළත් වී Master of Science උපාධිය හදාරනු ලැබුවේ Aviation/ Airway Management and Operation යන අංශ පිළිබඳවය.

ඉන් පසුව නිර්මාල් එම සරසවියේම MSc උපාධිය ද සම්පූර්ණ කර ඇත.

2005 වර්ෂයේදී රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් සිය ගුවන් හමුදා සේවය ආරම්භ කළ සියඹලාපිටිය වසර 20ක සේවා කාලය ද සම්පූර්ණ කර සිටියේය.

රටට මහත් විපතක් කළ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දහස් ගණනකගේ ජීවිත මුදාගැනීමට දායකවී සිටියදී තමන් පැදවූ හෙලිකොප්ටරයම අනතුරට ලක්වී ඔහුගේ ජීවිතය අහිමි විය.

ඔහු සමග ගමන් කළ අනිත් සිව්දෙනා ද තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

හත්හැවිරිදි පුංචි පුතකුගේ පියකු වූ රණවිරු වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදී සිටි දහස් ගණනක් මුදාගෙන ඔවුන්ට ආහාර ලබාදීමට ගොස් ජීවිතයෙන් සමුගැනීම රටේ හදවත් තුළ සදා සිහිවටනයක් වනු ඇත.

වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ දේහය කිරිමාවියාන තලාව පාරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 04 වැනිදා ප.ව. 4.00ට රත්මලාන රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

(දිවයින)