November 12, 2025

කාන්තාවන්ගේ ඡායාරූප උපයෝගී කරගනිමින් ෆේස්බුක් පිටු නිර්මාණය කර සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් හරහා මුදල් උපයා ගත් සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සයිබර් අපරාධ අංශයේ නිලධාරියා දැනුම් දුන්නේ විවාහක කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

පැමිණිල්ලට අනුව, පැමිණිලිකාරිය චෝදනා කළේ ඇගේ අවසරයකින් තොරව ඇගේ ඡායාරූප යොදා ගනිමින් ෆේස්බුක් පිටුවක් නිර්මාණය කර ඇති අතර, එහි “මගේ සඳ නුඹයි” යන ශීර්ෂ පාඨය ද ඇති බවයි.

අනුගාමිකයන් 10,000ත් 20,000ත් අතර සංඛ්‍යාවක් සිටින එම පිටු රුපියල් 1,000 සිට රුපියල් 2,000 දක්වා මුදලකට අලෙවි කර ඇති බවත් පැමිණිල්ල මත සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත.

සැකකරු විසින් ගැනුම්කරුවන්ගේ විද්‍යුත් තැපැල් ලිපින ඇතුළත් කිරීමෙන් පිටුවල අයිතිය මාරු කර ඇති බව තවදුරටත් අනාවරණ වී තිබේ.

විමර්ශනවලින් හෙළි වූයේ සැකකරු එවැනි ෆේස්බුක් පිටු දහයකට වැඩි ප්‍රමාණයක් හරහා මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ වී ඇති බවයි.

කරුණු සළකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප ලබා දුන්නේය.

ඇප මත මුදා හැරීමෙන් පසුව පවා සැකකරුගේ ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරන බවත් ඔහු එවැනි වංචනික හැසිරීම් අඛණ්ඩව සිදුකළහොත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන බවත් සයිබර් අපරාධ අංශයේ නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.