
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැරිසියේ ලූවර් කෞතුකාගාරයට ඊයේ අලුයම කඩා වැදුණු සොරුන් පිරිසක්, ප්‍රංශයේ ඓතිහාසික ඔටුනු තැන්පත් කර ඇති ගැලරියෙන් මිල කළ නොහැකි වටිනාකමකින් යුත් රාජකීය ආභරණ සොරකම් කර තිබේ.
බලධාරීන් පැවසුවේ කොල්ලකරුවන් දොඹකරයක් භාවිත කර කෞතුකාගාරයේ ඇපලෝ ගැලරියේ ඉහළ මාලයේ ජනේලයක් කඩා සොරකම සිදුකර පසුව යතුරුපැදිවලින් පලා ගිය බවයි.
විමර්ශකයන් විසින් ‘ඉතා වෘත්තීය සොරකමක්’ ලෙස මෙම මෙහෙයුම විස්තර කර තිබේ.
මිනිත්තු කිහිපයක් ඇතුළත සිදු වූ මෙම සොරකම සම්බන්ධයෙන් ප්‍රධාන ආරක්ෂක සමාලෝචනයක් ද ආරම්භ කර ඇත.
සොරකම් කරන ලද භාණ්ඩ අතරට 19 වැනි සියවසේ III වැනි නැපෝලියන් සහ ඉයුජිනි අධිරාජිනියගේ ආභරණ එකතුවෙන් කිහිපයක් ඇතුළත් බව වාර්තා වේ.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව එක් ඔටුන්නක් පසුව කෞතුකාගාරය අසල දමා ගොස් තිබියදී සොයා ගන්නා ලදී.
එම ඔටුන්නට හානි සිදු වී ඇතැයි ද පැවසේ.
මෙම සංවිධානාත්මක සොරකම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, CCTV දර්ශන සමාලෝචනය කර කෞතුකාගාර කාර්ය මණ්ඩලය සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වමින් සිටී.
කෞතුකාගාරය එදින තාවකාලිකව වසා දැමිණි.
ස්වර්ණාභරණවලට තක්සේරු කළ නොහැකි උරුම වටිනාකමක් ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය.
2024 දී මිලියන 8.7ක් නරඹන්නන් පැමිණි ලූවර් කෞතුකාගාරය, කාර්ය මණ්ඩල හිඟය සහ යල් පැන ගිය ආරක්ෂක පද්ධති සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ ගැටළුවලට මුහුණ දී තිබේ.
ලෝකයේ වැඩිපුරම නරඹන ලද සංස්කෘතික සන්ධිස්ථානයක ආයෝජනය අඩුවීම පිළිබඳ එරට වෘත්තීය සමිති මෙම වසර මුලදී අනතුරු අඟවා තිබිණි.
සංස්කෘතික අමාත්‍ය රචීඩා ඩැටි අද කෞතුකාගාරයට පැමිණෙන බව පැවසූ අතර, සොරකම ‘ප්‍රංශයේ සංස්කෘතික උරුමයට පහරක්’ ලෙස හැඳින්වීය.
සොරකම් කරන ලද ආභරණ නැවත ලබා ගැනීමට හේතු විය හැකි ඕනෑම තොරතුරක් ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart