October 19, 2025

ලෝක වෙළඳපොලේ ඉහළ යන රන් මිල ගණන් පියවා ගැනීම සඳහා රන් සඳහා ආනයන බද්ද 15% සිට 5% දක්වා අඩු කරන ලෙස මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන පිරිස් රජයෙන් නැවත වරක් ඉල්ලීම් කර ඇත.

ලෝක වෙළඳපොලේ මිල ගණන් අනුව දේශීය රන් මිල පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, සැපයුම ද අඩාල වී කුඩා ස්වර්ණාභරණ වෙළෙන්දන්ට දිවි ගලවා ගැනීමට අරගල කිරීමට සිදුවී තිබේ.

“අපි මුදල් අමාත්‍යාංශයට යෝජනා රාශියක් ලබා දී තිබෙනවා. ඔවුන් ඒ සඳහා ප්‍රතිචාර දක්වන නමුත්, මේ දක්වා කිසිදු පසුවිපරම් ක්‍රියාමාර්ගයක් හෝ තීරණයක් ගෙන නැහැ,” ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමයේ සභාපති රිස්වාන් නයීම් පවසා තිබේ.

රන් ආනයනය වේගවත් ලෙස ඉහළ යෑම මන්දගාමී කිරීම සහ ඉන්දියාව වැනි රටවලට රන් ජාවාරම අධෛර්යමත් කිරීම සඳහා 2018 අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක කරන ලද බද්ද, නීති විරෝධී සංචලනය මැඩපැවැත්වීම සඳහා සුළු වශයෙන් දායක වුවත්, නීත්‍යනුකූල ව්‍යාපාරවලට හානි කර ඇති බව කර්මාන්ත නියෝජිතයෝ පවසති.

අන්තර්ජාතිකව, මහා පරිමාණ ආයතනික මිලදී ගැනීම් මධ්‍යයේ රන් මිල ඉහළ ගොස් ඇති අතර, ගෝලීය අනුපාත වාර්තාගත ඉහළ මට්ටමකට තල්ලු වී ඇත.

නමුත් ප්‍රතිපත්තිමය වැරදි පියවරයන් නිසා දේශීය බලපෑම විශාල වී ඇති අතර, ශ්‍රී ලංකාවේ රන් මිල අන්තර්ජාතික මට්ටමට වඩා බෙහෙවින් වැඩි බැවින් එය බොහෝ පාරිභෝගිකයන්ට දැරිය නොහැකි බව කර්මාන්ත ආරංචි මාර්ග පවසයි.

“අපගේ යෝජනාව වන්නේ රජයට විශාල පරිමාවන්ගෙන් වැඩි ආදායමක් උපයා ගත හැකි වන පරිදි තීරුබදු 15% සිට 5% දක්වා අඩු කිරීමයි. එමගින් ශ්‍රී ලාංකික මහජනතාවට රත්‍රන් සොයා ගැනීමට සහ රත්‍රන්වල ආයෝජනය කිරීමෙන් මුදල් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති, එය දිගු කාලීනව ඔවුන්ට සහ රටට ඉතා හොඳ වෙයි,” රිස්වාන් පැවසීය.

“මෙය සිදු නොවන්නේ නම්, කර්මාන්තය මිය යන්න ඉඩ තියෙනවා. තරඟකාරී මිල ගණන් යටතේ ශ්‍රී ලාංකිකයන්ට රත්‍රන් ලබා ගැනීමට නොහැකි වෙයි, ජනතාව මුදල් මත පමණක් රැඳී සිටිවී,” යනුවෙන් ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය.

මංගල සමය ආරම්භ වීමත් සමඟ, ස්වර්ණාභරණ සඳහා ඇති ඉල්ලුම ශක්තිමත්ව පැවතිය ද ඉහළ මිල ගණන් මගින් සීමා වී තිබේ.

“ශ්‍රී ලාංකිකයන් හැකි තරම් රන් ආභරණ මිලදී ගැනීමට කැමතියි.දැන් ඇති එකම බාධකය දැරිය නොහැකි මිලයි,” රිස්වාන් පැවසීය.