October 17, 2025

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු, අඩු බරින් යුත් දරුවන් 187,714 ක් සිටින බවත්, උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 10,000ක් රට පුරා සිටින බවත් මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 91,000ක් සිටින බවත් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත් කළ නවතම නවතම විස්සයි විසිපහ පෝෂණ වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ පෝෂණ අර්බුදවලින් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක් සිටින දිස්ත්‍රික් අතරින් නුවරඑළිය දිස්ත්‍රික්කය අංක එක ස්ථානය හිමිකරගෙන ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත්කළ නවතම විස්සයි විසිපහ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතරින් නියමිත උස නොමැති දරුවන් 118,658ක්ද, උසට ගැලපෙන බර නොමැති දරුවන් 100,938ක්ද පමණ සිටින බව අනාවරණය වේ.

වයස අවුරුදු පහට අඩු දරුවන් අතරින් දහසකට ආසන්න ප්‍රමාණයක් වයසට ගැලපෙන බරට වඩා වැඩි බර ප්‍රමාණයක් දරන බව එම වාර්තාවට අනුව හෙළිවේ.

හඳුනාගන්නා ලද මෙම මන්දපෝෂණ අර්බුදයෙන් පෙළෙන දරුවන් සම්බන්ධයෙන් ප්‍රමුඛතා වැඩපිළිවෙලක් යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩසටහන් සම්පාදනයට රජය අවධානය යොමුකළ යුතු බව විශේෂඥයෝ සඳහන් කරති.

නුවරඑළිය, අනුරාධපුරය, මහනුවර, මඩකලපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, මාතර, මොණරාගල, කළුතර, ගම්පහ, කොළඹ යන දිස්ත්‍රික්කවල මෙම පෝෂණ අර්බුද වලින් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක් සිටින බව ද වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.