September 22, 2025

තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය යළි පණගැන්වීමේ උත්සාහයකට සම්බන්ධ බව පැවසෙන මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයකට අදාළව ශ්‍රී ලාංකික කාන්තාවක වන ලෙට්සුමනන් මේරි ෆ්‍රැන්සිස්කා නමැත්තියගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දියාවේ බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය චෙන්නායි අධිකරණයෙන් අවසර ලබාගෙන ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

2021 ඔක්තෝම්බර් මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති එම කාන්තාව එදින සිට පුසාල් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින අතර, අධිකරණ අවසරය අනුව දින දෙකක් බන්ධනාගාර පරිශ්‍රය තුළදී ප්‍රශ්න කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබේ.

මීට අදාළ අවසරය ලබාදෙමින් අධිකරණය පවසා ඇත්තේ, මෙම කාරණය සුවිශේෂී නඩුවක් බවයි.

ඒ අනුව සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ලැප්ටොප්, මුද්‍රණ යන්ත්‍ර සහ අනෙකුත් අවශ්‍ය උපකරණ රැගෙන යාමට බලාත්මක අධ්‍යක්ෂක නිලධාරීන්ට අධිකරණය අවසර ලබා දී තිබේ.

දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව පරීක්ෂකයන්ට පවසන්නේ, ෆ්‍රැන්සිස්කා සංචාරක වීසා බලපත්‍රයක් මත 2019 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට ඇතුළු වී තිබේ.

වංචනිකව හැඳුනුම්පත් ලබාගැනීම, අක්‍රිය බැංකු ගිණුම් වෙත ප්‍රවේශවීමට උත්සාහ කිරීම සහ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් යළි කණ්ඩායම්ගත කිරීමට ආධාර කිරීම සඳහා මුදල් යෙදවීම යන චෝදනා ඇයට එල්ල වී ඇත.

2021 ඔක්තෝම්බර් මාසයේදී චෙන්නායි ගුවන් තොටුපොළේදී ඇය අත්අඩංගුවට ගැනීම පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි

තමිල්නාඩු බලධාරීන් ඇයව මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ, වීසා කාලය ඉක්මවා රැඳීසිටීම සහ ව්‍යාජ ලිපි ලේඛන මගින් ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙනි.

එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා මුදල් එක්රැස් කිරීමේ සැකසහිත කුමන්ත්‍රණයකට කාන්තාව සම්බන්ධ බවට සැක මතුව ඇත්තේ ඉන් අනතුරුවය.

අත්අඩංගුඅට ගැනීමෙන් අනතුරුව ෆ්‍රැන්සිස්කාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ටී කෙනිස්ටන් ප්‍රනාන්දු සහ කේ. බාස්කරන් නමැත්තකු ඇතුළු තවත් පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව මෙම නඩුව ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය වෙත භාරදී ඇති අතර, එම කුමන්ත්‍රණය ඩෙන්මාර්කයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකු සහ හිටපු එල්ටීටීඊ ක්‍රියාකාරිකයකු බව පැවසෙන උමාකාන්තන් නමැත්තෙකුට සම්බන්ධ බව ද වාර්තාවේ.

උමාකාන්තන්ගේ උපදෙස් මත ක්‍රියාකරන ෆ්‍රැන්සිස්කා ඉන්දියන් ඕවර්සීස් බැංකුවේ අක්‍රිය ගිණුමකින් රුපියල් කෝටි 42කට අධික මුදලක් ලබාගැනීමට උත්සාහ කළ බවට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය චෝදනා කරයි.

මෙම කුමන්ත්‍රණයට සහාය වීම සඳහා ඇයගේ ගෝලයන් බව පැවසෙන පුද්ගලයන් වෙත යොමු කළ බව කියන විදේශ ප්‍රේෂණ ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.