September 20, 2025

ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම්වල අනාගතය පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපතිවරයා සමග ඊයේ දුරකථන සංවාදයක නිරත වී තිබේ.

එහිදී ගිවිසුමක් අනුමත කළ බව ට්‍රම්ප් පවසා ඇතත්, බීජිං වෙතින් ඒ සම්බන්ධයෙන් කිසිදු තහවුරු කිරීමක් නොතිබිණි.

ට්‍රම්ප් Truth Social හි ලියා ඇත්තේ මෙම ඇමතුම ඵලදායී වූ අතර ෂීගේ ගනුදෙනුව අනුමත කිරීම ඔහු එය අගය කළ බවයි.

එමඟින් ටික්ටොක් හි එක්සත් ජනපද ව්‍යාපාරය එක්සත් ජනපද ආයෝජකයන් පිරිසකට විකුණනු ඇතැයි වාර්තා වේ.

චීනයේ නිල රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ඔවුන්ගේ සාකච්ඡාවේ ප්‍රතිඵලය අපැහැදිලි ලෙස ප්‍රකාශ කළ අතර, බීජිං ‘ටික්ටොක් සම්බන්ධයෙන් සාකච්ඡා සාදරයෙන් පිළිගන්නා’ බව ෂී උපුටා දක්වමින් පැවසීය.

චීන සමාගමක් වන බයිට්ඩාන්ස් විසින් පවත්වාගෙන යනු ලබන ටික්ටොක්, එහි එක්සත් ජනපද මෙහෙයුම් විකිණීමට සිදුවන බව මීට පෙර පවසා තිබිණි.

කෙසේවෙතත්, ජනවාරි මාසයේදී ප්‍රථම වරට තහනම ප්‍රකාශයට පත් කළ දා සිට ට්‍රම්ප් එය ක්‍රියාත්මක කිරීම හතර වතාවක් ප්‍රමාද කළේය.

මෙම සතිය මුලදී දෙසැම්බර් දක්වා එහි කාල සීමාව නැවත දීර්ඝ ද කළේය.

ට්‍රම්ප් සිය සටහනේ ලියා ඇත්තේ “දකුණු කොරියාවේ පැවැත්වෙන ඒපෙක් සමුළුවේදී අපි හමුවන බවත්, ලබන වසරේ මුල් භාගයේදී මම චීනයට යෑමටත් ජනාධිපති ෂී සමඟ එකඟ වූ” බවයි.

ෂී ‘සුදුසු වේලාවක’ අමෙරිකාවට පැමිණෙනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

ට්‍රම්ප් සිකුරාදා දහවල් වාර්තාකරුවන්ට පැවසුවේ ගිවිසුමක් අත්සන් කළ යුතු බවත්, ඒ සඳහා විධිමත් ක්‍රියාවලියක් ඉක්මනින් සිදුවනු ඇති බවත්ය.

සාකච්ඡාවලදී වැදගත් කරුණක් වන්නේ TikTok හි මිලියන 170ක අමෙරිකානු පරිශීලකයන්ගේ අන්තර්ගතයට බලපාන බලගතු ඇල්ගොරිතමය කවුරුන් සතු වේද යන්නයි.

ෂී සහ ට්‍රම්ප් අතර ඇමතුම මේ වසරේ මේ දක්වා පැවති දෙවැනි ඇමතුමයි.

චීන සහ එක්සත් ජනපද නිලධාරීන් මෑත මාසවලදී සාකච්ඡා වට හතරක් පවත්වා ඇති අතර, මේ දක්වා අතිශයින් ඉහළ තීරුබදු සහ දැඩි අපනයන පාලනයන් ක්‍රියාත්මක කිරීම නවතා දමා ඇත.

ෆෙන්ටැනයිල් ජාවාරමට සම්බන්ධ බව පවසන සමහර චීන භාණ්ඩ සඳහා එක්සත් ජනපදය දැනටමත් 20%ක තීරුබදු පනවා ඇත.

තාක්ෂණික අපනයන සීමා කිරීම් සහ චීන අමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීම ඇතුළු අනෙකුත් ගැටළු තවමත් විසඳී නොමැත.