March 18, 2026

1996 ලෝක කුසලාන ඓතිහාසික ක්‍රිකට් ජයග්‍රහණයෙන් වසර 30ක් සපිරුණු ඊයේ (17), එම කුසලානය දිනා දුන් ශ්‍රී ලංකා වීරයන්ගෙන් පිරිසක් පිළිකා සමඟ සටන් කරමින් සිටින දරුවන්ට සහාය වීමට එක්වී සිටිනු දක්නට ලැබිණි.

එහිදී මෙම සන්ධිස්ථානය සැමරීම සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම සහ ඉන්දිරා පිළිකා භාරය මහරගමදී විශේෂ අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබේ.

1996 ජයග්‍රහණයේ උරුමය අර්ථවත් සමාජ උත්සාහයක් බවට පරිවර්තනය කිරීම, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය සහ ආශ්වාදය භාවිත කරමින් පිළිකා සහ අනෙකුත් බරපතළ රෝගවලින් පෙළෙන දරුවන් නඟා සිටුවීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම වැඩසටහන යටතේ, ‘Make-A-Wish Sri Lanka’ මුලපිරීම හරහා සහයෝගය ලබා දෙනු ඇත.

එම වැඩසටහන හරහා වයස අවුරුදු 3ත් 17ත් අතර දරුවන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාරී වන අතර ප්‍රතිකාර අතරතුර ඔවුන්ගේ චිත්තවේගීය යහපැවැත්ම සහ බලාපොරොත්තු වැඩිදියුණු කරයි.

මෙම අවස්ථාවට ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය සහ 1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, චමින්ද වාස් සහ රොෂාන් මහානාම ඇතුළු සාමාජිකයන් කිහිප දෙනෙක් සහභාගී වූහ.