February 28, 2024

නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට 16 හැවිරිදි පිරිමි ළමයකුට තර්ජනය කර කප්පම් ලබා ගැනීමට උත්සහ කළ පුද්ගලයකු හසුකර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආරක්ෂා අංශ විමර්ශන පවත්වමින් සිටියි.

මුදල් ඉල්ලා කළ අදාළ තර්ජනය හමුවේ( බ්ලැක්මේල්) ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩිනාල් ද අල්විස් නම් දරුවා 2022 ඔක්තෝබර් මාසයේදී දකුණු ලන්ඩනයේ සූටන්හිදී සියදිවි නසාගත් බව මරණ පරීක්ෂණයෙන් හෙළිවී තිබිණි.

මව්පියන් ඔහු හඳුන්වා තිබුණේ “රත්තරං දරුවකු” ලෙසයි.

මෙට්‍රොපොලිටන් පොලිස් පරීක්‍ෂණයකින් හෙළි වූයේ තමන්ට මුදල් ලබා නොදෙන්නේනම් ඩිනාල්ගේ සමාජ මාධ්‍ය හිතමිතුරන්ට ඔහුගේ නිරුවත් ඡායාරූප දෙකක් යවන බවට පුද්ගලයකුගෙන් ඩිනාල්ට iMessages ලැබී ඇති බවයි.

මෙම පුද්ගලයා තම ස්ථානය වසං කිරීම සඳහා අතථ්‍ය පෞද්ගලික ජාලයක් (VPN) භාවිත කරමින් සිටි නමුත් රහස් පරීක්ෂකයන් විශ්වාස කරන්නේ ඔහු බොහෝ විට නයිජීරියාවේ සිටින බවට විශ්වාස කරන බවයි.

(සියදිවි නසාගැනීම මෙවැනි ගැටලුවලට විසඳුම නොවන බවත් එවැනි අවස්ථාවල නුවණින් කටයුතු කිරීම වැදගත් බවත් මනෝ වෛද්‍යවරු පෙන්වා දෙති. මෙවැනි අවස්ථාවල විශ්වාසවන්ත තම වැඩිහිටියන් සමග එම ගැටලුව බෙදාගැනීම වැදගත් බව මනෝ උපදේශකයන් පෙන්වා දී තිබේ. මානසික අසහනකාරී සිදුවීම්වලදී උපකාර කරන හදිසි උපදේශන ආයතන මෙරට ද ක්‍රියාත්මක වේ.සුමිත්‍රයෝ යනු එවැනි එක් ආයතනයක් වන අතර 0707308308 ඔස්සේ ඔවුන් ඇමතීමට හැකිය. ඊට අමතරව ජාතික මානසික විද්‍යා ආයතනය ද 1926 දුරකථන අංකය විවෘත කර ඇත්තේ දැඩි මානසික පීඩාවන් ඇතිවන මෙවැනි අවස්ථාවල උපකාර ලබාදීම සඳහාය)