April 18, 2023

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු සටහන් කර ගැනීම සඳහා හෙට(19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට දැනුම් දී තිබේ. 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිදුවූ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් විශ්‍රාම යෑමට ආසන්න දිනයක හිටපු නීතිපතිවරයා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දුන් බව පොලිසිය පවසයි.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දුන් බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ද අද(18) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

“හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මැතිතුමා ඔහු විශ්‍රාම යන දිනයේදී යම් කිසි ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය තමයි මේ තුළ අපි දකින දේට වඩා ඔබ්බට ගිය කුමන්ත්‍රණයක් තියෙනවා. මේක පිටිපස්සේ කවුරු හරි මහ මොළකාරයෙක් ඉන්නවා කියලා. ඒ පිළිබඳව අපිට බරපතළ ගැටලුවක් මතු වෙලා තියෙනවා. ඒ අදාළ කාල සීමාව තුළදී ම රටේ නීතිපතිවරයා විදියට කටයුතු කළේ ලිවේරා මහතා. ඒ නීතිපතිතුමාට තමා බලතල තිබුණේ පොලිසියෙන් ගෙනල්ල දෙන පරීක්ෂණ වාර්තා ප්‍රමාණවත් නැත්නම් ඒ පිළිබඳව තවදුරට ත් පරීක්ෂණ කළ යුතුයි කියලා නියෝග දෙන්න.

එතකොට ඔහු විශ්‍රාම යන දවසේ කියනවා නම් මේකේ යම් යම් සැඟවුණු තැන් කුමන්ත්‍රණ තියෙනවා කියලා. අපි නීතිය පිළිබඳ විශ්වාසය තබන අය විදිහට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවුණේ කියන කාරණය පිළිබඳව. ඒ නිසා අපි නීතිපතිතුමාට දැනුම් දුන්නා මේ පරීක්ෂණය සම්පූර්ණ නැහැ කියලා මතයක් රට තුළ ගොඩනැගිලා තියෙන නිසා නීත්‍යනුකූලව පොලිස්පතිවරයාට අවශ්‍ය නියමයන් හෝ උපදෙස් ලබා දෙන්න කියලා. හිටපු නීතිපතිතුමා ඒ කරපු ප්‍රකාශය ත් එක්ක ඔහුගෙනුත් ප්‍රකාශයක් අර ගන්න. “ යැයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2021 මැයි මාසයේදී, සිය නීතිපතිධූර කාලය අවසන් වීමට දින කිහිපයකට පෙර, දප්පුල ද ලිවේරා කියා සිටියේ, දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අසම්පූර්ණ බැවින්, තමාගේ ධුර කාලය තුළ 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන්ට සහ අනුබල දුන් අයට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට තමාට නොහැකිවනු ඇති බවයි.