March 30, 2023

නෙදර්ලන්තය සිය අර්ධ සන්නායක උපකරණ චීනයට අපනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් දෙරට අතර අර්බුදයක් නිර්මාණය වී තිබේ. චීනයේ නිෂ්පාදනය කෙරෙන අති නවීන චිප් පරිපථ සඳහා ඇමරිකාව පසුගියදා සීමා පැනවීය. එයට සමගාමීව නෙදර්ලන්තය තම රටේ නිපදවන, චීන චිප් පරිපථ සඳහා සහායවන ඉහළ මට්ටමේ අර්ධ සන්නායක උපකරණ චීනයට අපනයනය කිරීම සීමා කර ඇත.

නෙදර්ලන්තයේ මෙම පියවර සම්බන්ධයෙන් චීනය කෝපයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තම රටට ඉහළ මට්ටමේ අර්ධ සන්නායක උපකරණ අපනයනය කිරීම අවහිර කළහොත් නෙදර්ලන්තයට නරක ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි එරට චීන තානාපතිවරයා අනතුරු අඟවා ඇත්තේ ඒ අනුවය. නෙදර්ලන්තයේ මෙම පියවර සම්බන්ධයෙන් චීනය නිශ්ශබ්දව නොසිටින බවද තානාපති ටැන් ජියන් නෙදර්ලන්ත පුවත්පතකට පවසා ඇත.

උසස් ක්ෂුද්‍ර චිප සෑදීමට අත්‍යවශ්‍ය වන නවීන හා මිල අධික ශිල්පීය යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ලෝක ප්‍රමුඛයා වන ASML සමාගම පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේය. මෙම චිප් ස්මාර්ට් උපාංග, විද්‍යුත් වාහන, දත්ත මධ්‍යස්ථාන සහ අභ්‍යවකාශ ෂටල දක්වා භාවිත කරයි. ඇමරිකානු – චීන තාක්ෂණික යුද්ධයේ තවත් ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව සිය සිමාකිරීම් සිදුකර ඇත. නෙදර්ලන්තය එම පියවරට සහාය පළකර තිබේ.