August 9, 2025

යුක්රේන භූමිය රුසියාවට ලබා නොදෙන බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

ඔහු ඒ බව පවසා ඇත්තේ යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා සමුළුවක් පැවැත්වීමට අමෙරිකාව සහ රුසියාව එකඟ වීමෙන් පැය කිහිපයකට පසුවයි.

යුක්‍රේනය ද එම සාකච්ඡාවල කොටසක් විය යුතු බව යුරෝපය ඇතුළු පාර්ශව කිහිපයක් යෝජනා ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් නවතම යෝජනාව ලෙස ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අගෝස්තු 15 වන දින ඇලස්කාවේ දී හමුවීමට නියමිතයි.

මේ බව වාර්තාවීමත් සමග යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවේ යුක්‍රේනය තම භූමිය රුසියාවට ලබා නොදෙන බවයි.

එමෙන්ම යුක්‍රේනයට එරෙහි ඕනෑම තීරණයක්, යුක්රේනය නොමැතිව ගන්නා ඕනෑම තීරණයක් සාමයට එරෙහි තීරණයක් බව ද ඔහු පැවසුවේය.

යුක්රේනය නොමැතිව යුද්ධය අවසන් කළ නොහැකි බව ද ඔහු අවධාරණය කර ඇත.