May 6, 2025

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කරන ලද දත්තවලට අනුව මෙම වසරේ මුල් කාර්තුව තුළ අල්ලස් නඩු සම්බන්ධයෙන් දඩ සහ වන්දි වශයෙන් රජය රුපියල් 462,000 ක මුදලක් උපයා තිබේ.

එහෙත් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති මුදලේ වටිනාකම ඊට වඩා බෙහෙවින් වැඩිවන අතර, එය රුපියල් මිලියන 6.5 ක් බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම කාලසීමාව තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,267ක් ලැබී ඇති අතර, ඉන් 1,127ක් විමර්ශන සඳහා පැමිණිලි කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.

2024 වසරේදී කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4,267 කි.

එම කොමිසම දිවයින පුරා වැටළීම් 24ක් සිදුකර ඇති අතර, එමගින් සැකකරුවන් 20 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් හයදෙනෙකු, විදුහල්පතිවරයකු, කම්කරු නිලධාරියකු, ක්ෂේත්‍ර නිලධාරියකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ද වන බව අල්ලස් කොමිසම පවසයි.

මීට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු, සංවර්ධන නිලධාරියකු, අධිකරණ අමාත්‍යාංශයේ සේවකයකු, පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරියකු සහ සිවිල් වැසියන් හයදෙනකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව අල්ලස් කොමිසම පවසයි.

මෙම පැමිණිලි තුනක් දූෂණයට අදාළව සහ තවත් නඩුවක් ධනය උපයා ගත් ආකාරය පැහැදිළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බව ද කොමිසම පෙන්වාදෙයි.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ද දූෂණය පිටුදැකීමේ අරමුණින් නව අල්ලස් විරෝධී වැඩපිළිවෙළක් පසුගියදා දියත් කළ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

මෙම මෙහෙයුමේ කොටසක් ලෙස සති කිහිපයක් තුළ එම දෙපාර්තමේන්තු පරිශ්‍රය පුරා CCTV කැමරා සවිකරන බව ද අමාත්‍යවරයා තහවුරු කළේය.