December 12, 2025

මීමුරේ ප්‍රදේශයට ප්‍රවේශ වීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා නකල්ස් සංරක්ෂණ වනාන්තරය හරහා පැරණි බොරළු මාර්ගයක් නැවත විවෘත කිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසමේ කණස්සල්ලට හේතු වී තිබේ.

මධ්‍යම කඳුකරයේ ලෝක උරුම තත්ත්වයට එමගින් ඇති විය හැකි අවදානම ඊට හේතුවයි.

මෑත කාලීන ව්‍යසනය නිසා සිදුවූ මාර්ග හානිවලින් පසු මිනිසුන්ගේ ප්‍රවේශ මාර්ග දිගුකාලීන පාරිසරික හා උරුම බැඳීම් සමඟ සමතුලිත කිරීමේ අවශ්‍යතාව බලධාරීන් වෙත යොමු කරන ලද ලිපියක ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසමේ මහලේකම් මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ අවධාරණය කළේය.

තෙල්දෙණිය-තංගප්පුව සිට අට්ටාලවෙට්ටුව දක්වා දිවෙන යෝජිත මාර්ගය, යුනෙස්කෝ ලැයිස්තුගත කර ඇති ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ කොටසක් වන පාරිසරික වශයෙන් සංවේදී නකල්ස් රක්ෂිතය හරහා හෝර්ටන් තැන්න සහ ශ්‍රීපාදය අසලින් වැටී ඇත.

රක්ෂිතය හරහා සිදුවන ඕනෑම මාර්ග සංවර්ධනයක්, ලෝක උරුම නම් කිරීම සඳහා එම ස්ථානයේ පවතින කැපී පෙනෙන විශ්වීය වටිනාකමට හානි කළ හැකි බවට මහාචාර්ය ජයසිංහ අනතුරු ඇඟවීය.

නවදිල්ලියේ යුනෙස්කෝ කලාපීය කාර්යාලය දැනටමත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසීම් කර ඇති බවත්, එය අන්තර්ජාතික පරීක්ෂාව ඉහළ නංවන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

“මෙම ගැටළුවලට විසඳුම් ලබා නොදුනහොත්, මධ්‍යම කඳුකරය යුනෙස්කෝවේ අවදානම් ලැයිස්තුවට ඇතුළත් කිරීමේ හෝ එහි ලෝක උරුම තත්ත්වය සම්පූර්ණයෙන්ම අහිමි වීමේ අවදානමක් ඇති කරයි,” ජයසිංහ පැවසීය.

එවැනි ප්‍රතිඵල සැළකිව යුතු පාරිසරික, රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.

මෑත කාලීන ව්‍යසනයෙන් පසු වැඩිවන අන්තර්ජාතික උනන්දුව මධ්‍යයේ, සංවර්ධන හවුල්කරුවන් කිහිප දෙනෙකු සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීමට කැමැත්ත පළ කර ඇත.

මාර්ග ව්‍යාපෘතිය සමඟ ඉදිරියට යෑමට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ යුනෙස්කෝ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර විකල්ප හදිසි ප්‍රවේශ මාර්ග පිළිබඳ ගැඹුරු ඇගයීමක් කරන ලෙස කොමිසම ඉල්ලා තිබේ.

බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා සහ රටේ උරුම වගකීම් සමබර හා ඒකාබද්ධ ආකාරයකින් විසඳා ගත යුතු බව මහාචාර්ය ජයසිංහ ද අවධාරණය කළේය.