November 5, 2025

ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නීතිඥ තමාරා අබේරත්න රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කනස්සල්ල පළකර තිබේ.

ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය, නීතිඥ තමාරා අබේරත්න විසින් ලබාදුන් බව කියන දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් තුළ සඟවා අධිකරණ සංකීර්ණයට ගිනි අවියක් රැගෙන ආ බව අනාවරණවීමෙන් අනතුරුව නීතීඥ සංගමයේ සාමාජිකාවක වන තමරා අබේරත්න අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ නීතිඥ කවුන්සිලයේදී සාකච්ඡා ක‍ර ඇතැයි වාර්තා වේ.

නීතීඥ තමාරා අබේරත්න 2022 මාර්තු මාසයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ 59 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ විධායක කමිටුවේ ද සාමාජිකාවක ලෙස කටයුතු කළාය.

කෙසේවෙතත් ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ සැකකාරියට තමන් වෙනුවෙන් පෙනීසිටීමට නීතිඥවරයකු ලබාගත හැකිවුවද, නීතිඥ සංගමය කිසිදු තත්වයක් යටතේ ඇය වෙනුවෙන් පෙනීනොසිටින බවයි.

යුද්ධය අවසන් වී දශක දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් ත්‍රස්තවාදයට අදාළ නොවන නඩු සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීම ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට ලක් වූ මතභේදාත්මක කාරණයකි.

ජනමාධ්‍ය වාර්තා අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ සංගමය අභ්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගන්නේදැයි ‍යන කරුණේ දී එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා ඇත්තේ, මේ මොහොතේ ඔවුන් නඩුව හොඳින් නිරීක්ෂණය කරන බවයි.

දැනට සිදුවෙමින් පවතින පරීක්ෂණවලින් නීතිඥවරිය කෙහෙල්බද්දර පද්මේගේ කල්ලිය සමඟ කොතරම් සම්බන්ධතා පවත්වා ඇත්දැයි හෙළිවනු ඇතැයි ඔවුන් පවසා ඇත.

සෙව්වන්දි නමැති සැකකාරිය විසින් එම නීතීඥවරිය රවටා ඇත්නම්, ඇය ඒ පිළිබඳව පොලිසියට වාර්තා කළ යුතුව තිබූ බව ද ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.