May 19, 2025

ශ්‍රී ලංකාවේ වගවීම සෙවීමට මෙන්ම සත්‍යය සහ යුක්තිය දෙසට රට යොමු කිරීම සඳහා වන ස්වාධීන අන්තර්ජාතික උත්සාහයන්ට කැනඩාව අඛණ්ඩව සහාය දෙන බව අලුතින් පත් වූ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පැවසීය.

‘දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය’ සැමරීම සඳහා නිකුත් කළ නිවේදනයක මාර්ක් කාර්නි මේ බව සඳහන් කර තිබේ.

“ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී අදට වසර 16ක් සනිටුහන් වේ – වසර 26 ක් පුරා පැවති ගැටුමක් වන එමගින් දස දහස් ගණනක් සිවිල් වැසියන් මරා දැමීය. මෙම දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයේදී, අහිමි වූ ජීවිත – වෙන් වූ පවුල්, විනාශ වූ ප්‍රජාවන් සහ අද දක්වා අතුරුදහන් වූවන් අපි සිහිපත් කරමු. ආදරණීයයන්ගේ මතකය සහ කැනඩාව පුරා සැලසුම් කර ඇති බොහෝ අනුස්මරණයන් සිදුකරන කැනඩාවේ දෙමළ ප්‍රජාව ගැන ද අපි සිතමු.” යනුවෙන් එහි සඳහන් කර තිබේ.

දහස් ගණනක් මිනිසුන් මරා දැමූ යුද්ධයේ අවසානය සනිටුහන් කළ දිනය ශ්‍රී ලාංකිකයන් ඊයේ අනුස්මරණය කරන ලදී.

එල්ටීටීඊයට එරෙහි අවසන් සටනේදී, විශේෂයෙන් මුල්ලිවයික්කාල්හි සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල විය.

එවක ශ්‍රී ලංකා රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කළේ එල්ටීටීඊය විසින් සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිත කළ බව පවසමිනි.