May 22, 2025

සෑම තැනකම අයාලේ යන බල්ලන් දක්නට ලැබෙන බවත්, දැඩි ආරක්ෂාවක් පවා තිබියදීත් එම බල්ලන් පාර්ලිමේන්තු පරිශ්‍රයට පවා ඇතුළු වී ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වන්ධ්‍යාකරණ වැඩසටහන් අත්හිටුවීම නිසා මෑතකදී අයාලේ යන බල්ලන් ගහණය කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්. අබේවික්‍රමගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පැවසුවේ, ජලභීතිකා ප්‍රතිකාර, සුනඛයන් වන්ධ්‍යාකරණය සහ අනෙකුත් අදාළ වියදම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව රුපියල් මිලියන 800 ක් වැයකරන බවයි.

සුනඛ සපාකෑම් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 280 ක්ද, බල්ලන්ට එන්නත් කිරීම සඳහා රුපියල් මිලියන 180 ක් සහ වන්ධ්‍යාකරණය සඳහා රුපියල් මිලියන 200 ක්ද වැයවන බවට ගණන් බලා ඇත.

“මෙම වැඩසටහන්වල පිරිවැය, ඵලදායීතාවය සමාලෝචනය කළ යුතු අතර, වන්ධ්‍යාකරණ වැඩසටහනේ ප්‍රතිඵල පිළිබඳව අපට ප්‍රශ්න තිබෙනවා.” වන්ධ්‍යාකරණ වැඩසටහන්වල ඵලදායීතාවය පිළිබඳව ප්‍රශ්න මතුකරමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, වැඩසටහන සාර්ථක නම්, සෑම තැනකම අයාලේ යන සුනඛයන් සිටිය නොහැකි බවත්, දැඩි පරීක්ෂාවන් නොතකා එම සත්වයන් පාර්ලිමේන්තු පරිශ්‍රයට පවා ඇතුළු වී ඇති බවත්ය.

එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා වදිදුරාටත් පැවසුවේ වන්ධ්‍යාකරණය පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ජාතික වැඩසටහනක් අවශ්‍ය බවයි.