December 11, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි වනු ඇති බවත්, එහිදී අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට ඇමරිකාව සුදානමින් සිටින බවත් එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker පැවසුවාය.

ජනාධිපති අනුර කුමාර දිසානායක හ එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී උප ලේකම්වරිය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාව මුහුණදුන් ව්‍යසනය හමුවේ සහාය ලබාදීමට හැකිවීම පිළිබඳ මෙහිදී සතුටු පළකළ Allison Hooker ආපදාවෙන් මියගිය සියලුදෙනාගේ පවුල් වෙතද සිය ශෝකය පළකර සිටියාය.

මෙම අසීරු අවස්ථාවේ විවිධ සහනාධාර සහ සහන කණ්ඩායම් මෙරටට එවමින් ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැක් වූ සහාය වෙනුවෙන් මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමරිකාව ඇතුළු ලොව සියලු මිත්‍ර රාජ්‍යයන් ශ්‍රී ලංකාවට දැක් වූ හෘදයාංගම සහාය ඇගයීමට ලක්කළේය.

ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට මුහුණදීමට සිදුවූයේ රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙනඑමින් ආර්ථික දර්ශකද ඉහළ නංවා ගනිමින් සිටින මොහොතක බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, ආපදාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සහ දිගුකාලීනව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී විශේෂ අවධානය යොමුකළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශ වී ඇති මහාමාර්ග, දුම්රිය මාර්ග ආදී යටිතල පහසුකම් සහ කෘෂිකර්ම, පශු සම්පත් සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ප්‍රධාන ආදායම් මාර්ග යළි යථාතත්ත්වයට පත්කිරීම වෙනුවෙන් යම් කාලයක් ගතවන බවත්, එහිදී සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

එක්සත් ජනපද තීරුබදු පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබද අවධානය යොමුකර තිබෙන බවත්, ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර වෙළෙඳ සහ නාවික කටයුතු පුළුල් කර ගැනීම වෙනුවෙන් සහාය ලබාදීමට කටයුතු කරන බවත් උප රාජ්‍ය ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

විශේෂයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය සහාය ලබාදෙන බවද සඳහන් කළාය.

පසුගිය කාලයේ ඇමරිකානු සංචාරකයන් විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණි අතර, තවදුරටත් එම පැමිණීම අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, පවතින ව්‍යසනය තත්ත්වයෙන් මිදී ශ්‍රී ලාංකික ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදාකර දීමට ඇමරිකා රජය ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් ඇතුළු දූත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.(PMD)