May 7, 2025

කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව පාකිස්තානයට එරෙහිව අද අලුයම දියත් කළ ඔපරේෂන් සින්දූර් සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව ප්‍රතිචාර දක්වමින් සිටියි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශවයෙන් ඉල්ලා සිටින්නේ සංයමයෙන් යුතුව ක්‍රියාකරන ලෙසයි.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර මේ මොහොතේ උද්ගත වන හමුදාමය ගැටුමක් ලෝකයට දරාගත නොහැකි වනු ඇතැයි එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසා ඇත.

එමෙන්ම මහලේකම්වරයා අනතුරු අඟවා තිබුණේ, දකුනු ආසියාතික කලාපයේ අසල්වැසියන් දෙදෙනා අතර ආතතීන් මෙම වසර තුළ ඔවුන්ගේ ඉහළම මට්ටමට ළඟා වී ඇති බවයි.

ආතතීන් සමනය කිරීමට සහ රාජ්‍යතාන්ත්‍රිකභාවයක් අනුව විසඳුමකට පැමිණෙන්නැයි ඔහු එම රටවල් දෙකෙන් ඉල්ලා සිටින අතර, හමුදා ක්‍රියාමාර්ග අර්බුදය සඳහා විසඳුමක් විසඳුමක් නොවන බව ද අවධාරණය කරයි.

මේ අතර ඉහළ යන ඉන්දු-පකිස්ථාන ආතතීන්ට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, එය ලැජ්ජාවක් බවයි.

එමෙන්ම අර්බුදය ඉතා ඉක්මණින් අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු පවසා තිබේ.

චීනය පවසන්නේ පාකිස්ථානයට එල්ල කරන ඉන්දීය ප්‍රහාර සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන බවයි.

එමෙන්ම සාමය සහ ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, සන්සුන්ව හා සංයමයෙන් සිටින ලෙසත්, තත්වය තවදුරටත් අවුල් කරන ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙසත් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ඉල්ලා සිටින බව චීනය පවසයි.

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙපාර්ශවයෙන් ඉල්ලා ඇත්තේ, ආතතීන් උත්සන්න කිරීම සහ කලාපීය හා අන්තර්ජාතික සාමයට තර්ජනයක් විය හැකි ක්‍රියා වළක්වාගන්නා ලෙසයි.

කෙසේවෙතත් ඉන්දියාවේ විපක්ෂ ක්‍රියාකාරීන් මෙම මෙහෙයුමේදී රජයට සහාය පළකරන අයුරු දක්නට තිබේ.

ඒ අනුව ජාතික සමගිය සහ සහයෝගීතාව යුගයේ අවශ්‍යතාවය බව විපක්ෂ නායක මල්ලිකාර්ජුන් ඛාර්ගේ පවසයි.

කොංග්‍රස් පක්ෂයේ ප්‍රභලයෙකු වන රාහුල් ගාන්ධි පවසන්නේ ඉන්දීය හමුදාව පිළිබඳ තමන් ආඩම්බර වන බවයි.