November 27, 2025

නුගේගොඩ පැවති විපක්ෂයේ විරෝධතා රැලියකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයකුව සිටි උදිත් ලොකුබණ්ඩාර වේදිකාව මත ගමන් මල්ලක් තුළ සඟවා ගෙන සිටි පිස්තෝලය නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (25 දා) අත්අඩංගුවට ගෙන ඇත.

විශාල මහජනතාවක් රැස්ව සිටි ස්ථානයක වේදිකාවක් මත පිස්තෝලයක් සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාව මත උදිත් ලොකුබණ්ඩාරගෙන් පොලිසිය පෙරේදා ප්‍රශ්න කර ප්‍රකාශයක් ද ලබාගෙන තිබේ.

පොලිසිය පවසන්නේ මෙම පිස්තෝලය අත්අඩංගුවට ගත්තේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි උදිත් ලොකුබණ්ඩාරට අයත් නිවසේදී බවයි.

පිස්තෝලය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඊට බලපත්‍රයක් නොතිබූ බව ද පොලිසිය පවසයි.

උදිත් ලොකුබණ්ඩාර සතුව ලියාපදිංචි පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබී ඇති අතර එම අවි දෙකම මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදී තිබිණි.

එම අවි භාරදී තිබුණේ ලියාපදිංචි පිස්තෝල සහ ගිනිඅවි ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදෙන ලෙස කර තිබූ නියෝගය අනුවය.

එසේ භාරදුන් ගිනිඅවි දෙකෙන් එකක් මීට මාසයකට පමණ පෙර උදිත් ලොකුබණ්ඩාර වෙත ආපසු භාරදී තිබිණි.

එම අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් නියෝගයක් නිකුත්කර තිබුණේ ගිනි අවිය භාරගැනීමෙන් පසුව ඊට අවශ්‍ය ලියාපදිංචි බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

එහෙත් උදිත ලොකුබණ්ඩාර නුගේගොඩ රැලියට එන අවස්ථාව වනවිටත් මෙම අවිය සඳහා වාර්ෂික බලපත්‍රය ලබාගෙන තිබී නැත.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පොලිසිය විසින් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයෙන් පසුව උදිත් ලොකුබණ්ඩාරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද උසස් පොලිස් නිලධාරියෙක් කියාසිටියේය.

විපක්ෂයේ පක්ෂ කීපයක් විසින් නුගේගොඩදී පවත්වන ලද විරෝධතා රැස්වීමේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනතාව අමතමින් සිටි අවස්ථාවේ ඔහු අසලින් සිටි උදිත් ලොකුබණ්ඩාර ගමන් මල්ලක පිස්තෝලයක් සඟවාගෙන සිටින ආකාරය ඡායාරූපවල මෙන්ම වෙබ් අඩවිවල ද පළවිය.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය උදිත් ලොකුබණ්ඩාර සඟවාගෙන සිටියේ පිස්තෝලයක් බව හෙළිකර ගෙන තිබිණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් උදිත් ලොකුබණ්ඩාර නුගේගොඩ කොට්ඨාස අපරාධ ඒකකය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව පිස්තෝලය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

බස්නාහිර දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් විමර්ශන පැවැත්වේ.(දිවයින)