
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රථවාහන පරීක්ෂාවකදී කුඩා ලොරි රථයක් පදවමින් සිටි තරුණයකුට වෘෂණ කෝෂයක් අහිමි වන අන්දමට පහරදුන් බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව මිනීමැරීමට තැත්කිරීම යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.
තරුණයකුට වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (16) මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීය.
එහිදී මැදවච්චිය මහෙස්ත්‍රාත් ඉමේෂා මධුභානි ධර්මදාස නියෝග කළේ, මෙම මස 24 වනදා මෙම නඩුව නැවත කැඳවන ලෙසටත් එම දිනය දක්වා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටය.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකි.
සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින්, සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරියකු, සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විධිමත් අපක්ෂපාතී පුළුල් පරික්ෂණයක් කරන බව දැනුම් දුන්නේය.
මැදවච්චිය, මන්නාරම පාරේ, මැදවච්චිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට පසුගිය 7 වැනිදා සැකකාර පොලිස් නිලධාරීන් විසින් රථවාහන පරීක්ෂාවක් කර ඇතැයි ද, එහිදී කුඩා ලොරි රථයක් පදවාගෙන පැමිණි 23 හැවිරිදි දිලීම සංගීත් නමැති තරුණයාට සැකකරුවන් මෙලෙස පහරදී ඇතැයි ද කී පොලිසිය, සැකකරුවන්ගේ අමානුෂික පහරකෑමට ලක්වූ තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහුගේ ජීවිතාරක්‍ෂාව සඳහා වෛද්‍යවරුන් විසින් ඔහුගේ ශරීරාංගයක් ඉවත් කර ඇතැයි ද දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට සම්බන්ධ සියලුම පරීක්ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන ලෙසත් පොලිස්පතිවරයාට නියෝග කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත්, සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පහරදී, බරපතළ තුවාල සිදුකිරීම සහ මිනීමැරීමට තැත්කිරිමේ චෝදනා යටතේ නීතීමය පියවර ගන්නා බවත් කී පොලිසිය, සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලීමක් ද කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart