May 27, 2025

පසුගිය 19 වැනි දින දෙහිවල නැදිමාල ප්‍රදේශයේ වාර්තා වූ වෙඩිතැබීමේ සිද්ධියේ තුවක්කුකරු ඇතුළු සැකකරුවන් දෙදෙනකු බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නැදිමාල ප්‍රදේශයේ ගබඩාවකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එහිදි වෙඩික්කරු බවට සැකකෙරෙන එක් පුද්ගලයකු අද (27) අයිස් ග්‍රෑම් 10.16 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වෙඩිතැබීමට සහාය දුන් බවට සැකකෙරෙන තවත් පුද්ගලයකුද අයිස් ග්‍රෑම් 10.35 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 38 සහ 43 ක් වන සැකකරුවන් දෙහිවල සහ මිහින්තලේ පදිංචිකරුවන් වේ.

මේ පිළිබඳව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.