December 17, 2025

තුර්කි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ආරක්ෂිතව ගොඩබෑ බව ගුවන්තොටුපළ නිලධාරීන් තහවුරු කර තිබේ.

ඉස්තාන්බුල් වෙත පියාසර කිරීමට නියමිතව තිබූ TK-733 එයාර්බස් A330 යානය, මගීන් 202 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු රැගෙන කටුනායක සිට ගුවන්ගත වූ සැණින් එහි ගොඩබෑමේ ආම්පන්නයේ තාක්ෂණික ගැටළුවක් ඇති වී තිබේ.

ඒ අනුව බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ධාවන පථය හදිසි ගොඩබෑමක් සඳහා සූදානම් කරන ලද අතර, ගිනි නිවන රථ, ගිලන්රථ සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සූදානම්ව සිටියහ.

ගොඩබෑමේදී සිදුවිය හැකි අවදානම අවම කිරීම සඳහා නියමුවා පූර්වාරක්ෂාව සඳහා මුහුදට ඉහළින් ඉන්ධන බැහැර කිරීමට කටයුතු කර තිබේ.

අවසානයේ ගුවන් යානය ආරක්ෂිතව බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩ බැස්සේය.

කෙසේවෙතත්, සිද්ධිය හේතුවෙන් ගුවන්තොටුපළෙන් පිටත් වීමට නියමිතව තිබූ අනෙකුත් ගුවන් ගමන්වල ප්‍රමාදයන් ඇති විය.

ගුවන්තොටුපළ භාර නිලධාරියා පැවසුවේ ගුවන් යානයේ සිටි මගීන් ආරක්ෂිතව ඉවත් කර ගුවන්තොටුපළ අවට හෝටල් වෙත ප්‍රවාහනය කෙරුණු බවත්, ගුවන් යානයේ අලුත්වැඩියාවන් සඳහා පියවර ගෙන ඇති බවත්ය.