January 17, 2026

ග්‍රීන්ලන්තය ඈඳාගැනීමේ සැලැස්මට එකඟ නොවන රටවලට තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.

විදෙස් ජනමාධ්‍ය පැවසුවේ, ආක්ටික් භූමිය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ උත්සාහයට විරුද්ධ වූ යුරෝපීය රටවල් වෙත මෙමගින් වැඩි පීඩනයක් එල්ලවන බවයි.

කෙසේවෙතත් ට්‍රම්ප්ගේ තර්ජන මධ්‍යයේ නේටෝ සාමාජික රටවල් කිහිපයක් මේ වනවිටත් ග්‍රීන්ලන්තය වෙත සිය හමුදා යොමුකර තිබේ.

එවන් පසුබිමක් තුළ ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ, අවශ්‍ය නම් බලය භාවිත කරමින් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ඔහුගේ සැලසුම්වලට සහාය නොදක්වන රටවලට දඬුවම් කළ හැකි බවයි.

මෙම සතියේ ට්‍රම්ප් තීරුබදු පනවන බවට විදෙස් රටවලට තර්ජනය කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර, ඉරානය සමඟ ව්‍යාපාර කරන රටවලින් එක්සත් ජනපදයට සිදුකරන ආනයන සඳහා 25%ක බද්දක් පනවන බව ද ඔහු ඉකුත් සතියේදී පැවසුවේය.

ඊයේ ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ, ජාතික ආරක්ෂාව සඳහා අමෙරිකාවට ග්‍රීන්ලන්තය අවශ්‍ය බවයි.

ඒ සඳහා සහාය නොදක්වන රටවලට තීරුබදු පැනවිය හැකි බව රැස්ව සිටි නීති සම්පාදකයන්, වෛද්‍යවරුන් සහ දේශපාලන බලවතුන්ට ට්‍රම්ප් පැවසුවේය.