October 12, 2025

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබේ.

ගෙබ්‍රෙයිසස් දෝහා සිට ගුවන් යානයකින් උදෑසන 9:40ට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට (BIA) පැමිණියේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ගුවන්තොටුපළේ ප්‍රභූ විවේකාගාරයේදී ඔහු පිළිගනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹදී පැවැත්වෙන 78 වැනි අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධාන කරන ලද මෙම සමුළුව ඔක්තෝබර් 13 සිට 15 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.

අග්නිදිග ආසියානු කලාපයේ රටවල් නියෝජනය කරන සෞඛ්‍ය අමාත්‍යවරුන් ද සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.