May 6, 2025

ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ පියකු සහ පුතකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියයි.

මෙම ඝාතනය සැඟවීම සඳහා රාත්‍රියේ සිට අද (06) උදෑසන දක්වා මෙම පුතා සැලසුම් සකස් කරමින් සිටියදී අසල්වැසි කාන්තාවකට ගොස් ඒ සඳහා සහයෝගය ඉල්ලා සිටීමේ දී මෙම මරණය පිළිබඳව තොරතුරු හෙළි වී ඇත.

එම පියා බිම ඇදවැටී මරණයට පත් වූ බවට සැලසුම් සැකසීම සඳහා අසල්වැසි ඥාතීන්ගේ උදව් ඉල්ලීමේ දී එම ඥාතීන් ඊට විරුද්ධව කටයුතු කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල මකුළුගස්වැව හතරේ කණුව ප්‍රදේශයේ පදිංචි සමන් ප්‍රියන්ත පනස්තුන් හැවිරිදි දෙදරු පියෙකි.

මෙම නිවසේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ පහරදුන් බව කියන පුතා ජීවත්ව සිටි බව මකුළුගස්වැව පොලිසිය කියයි.

නිතර නිතර මත්පැන් පානය කරන මෙම පියා සහ පුතා අතර ගැටුම් ආරවුල් හටගෙන අවස්ථා ගණනාවක පොලිසිය සමථයකට පත්කොට තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව, මෙම දෙදෙනා ඊයේ රාත්‍රියේ ගැටුමක් ඇති කරගෙන තිබෙන අතර, පුතා නිවසේ තිබුණු යකඩ මුගුරකින් පියාට පහරක් එල්ල කොට කාමරයට දමා ඇත.

පියා ඝාතනය කල බවට සැක කරන පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(දිනමිණ)