September 3, 2025

සාප්පු, ආපනශාලා, කැෆේ සහ විකුණුම් යන්ත්‍රවල මෙන්ම අන්තර්ජාලය හරහා සිදුකෙරෙන සිල්ලර වෙළඳාම හරහා වයස අවුරුදු 16ට අඩු පිරිසට අධික කැෆේන් සහිත ශක්තිජනක පාන වර්ග අලෙවිය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වන බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කරන ලද ජනමාධ්‍ය නිවේදනයකට අනුව, දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් හේතුවෙන් අවුරුදු 16ට අඩු පිරිස සඳහා නිෂ්පාදන තහනම් කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය රජය උපදෙස් නිකුත් කරනු ඇත.

මෙම යෝජනාව මගින් වයස අවුරුදු 16ට අඩු ඕනෑම අයකුට ලීටරයකට කැෆේන් මිලිග්‍රෑම් 150 කට වඩා අඩංගු අධි කැෆේන් ශක්තිජනක බීම අලෙවි කිරීම නීතිවිරෝධී වනු ඇත.

අධිකැෆේන් ශක්තිජනක පාන වර්ග සඳහා උදාහරණ ලෙස Monster, Red Bull, Prime සහ C4 ඇතුළත් වේ.

Monster මිලිලීටර් 500 කෑන් එකක කැෆේන් 160mg පමණ අඩංගු වන අතර සාමාන්‍යයෙන් මිලිලීටර් 250 ක Red Bull ටින් එකක කැෆේන් 80mg ඇත.

අඩු කැෆේන් සහිත සිසිල් බීම, තේ සහ කෝපි සඳහා මෙම තහනම අදාළ නොවේ.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුව පැවසුවේ කැෆේන් අධික බීම වර්ග දරුවන්ට නින්දට බාධා කිරීම, කාංසාව වැඩි වීම, දුර්වල සාන්ද්‍රණය සහ අධ්‍යාපනික ප්‍රතිඵල අඩුවීම ඇතුළුව හානිකර බලපෑම්වලට සම්බන්ධ බවට සාක්ෂි ඉදිරිපත් වෙමින් ඇති බවයි.

එබැවින් තහනම මගින් ළමුන් 40,000 ක් දක්වා තරබාරු වීම වැළැක්විය හැකි අතර, එක්සත් රාජධානියේ ළමුන් 100,000 ක් පමණ දිනකට අවම වශයෙන් එක් අධි කැෆේන් ශක්තිජනක පානයක් පරිභෝජනය කරන බව අනාවරණ වී තිබේ.