January 3, 2026

ස්විට්සර්ලන්තයේ අවන්හලක ඇති වූ ගින්නට හේතුව ෂැම්පේන් බෝතල් මත දැල්වූ ගිනි පුපුරු එහි සිවිලිමට ඇවිළීම බව එරට බලධාරීන් ප්‍රකාශකර තිබේ.

ක්‍රාන්ස්-මොන්ටානා හි අලුත් අවුරුදු දිනයේ අලුයම ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් 119 දෙනෙකු තුවාල ලබා තිබිණි.

වලයිස් ප්‍රාන්ත නීතිපති බියට්‍රිස් පිලූඩ් සිකුරාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, විමර්ශනය භූමියේ භාවිත කරන ලද ද්‍රව්‍ය, අවන්හලේ ගිනි ආරක්ෂණ පියවර, එහි ධාරිතාව සහ ගින්න ඇති වූ අවස්ථාවේ ඇතුළත සිටි පුද්ගලයන් සංඛ්‍යාව කෙරෙහි අවධානය යොමු කරන බවයි.

නඩු පැවරීම් අවශ්‍ය වේද යන්න ද විමර්ශනය මගින් ගවේෂණය කරනු ඇත.

“නඩු පැවරීම් අවශ්‍ය නම්, අදාළ පුද්ගලයන් තවමත් ජීවතුන් අතර ඉන්නව නම්, ඔවුන්ට එරෙහිව නඩුවක් විවෘත කරනවා,” ඇය පැවසුවාය.

අවන්හල් හිමිකරුවකු දේශීය මාධ්‍ය වෙත පවසා ඇති පරිදි, පසුගිය වසර දහය තුළ එම ආයතනය තුන් වතාවක් පරීක්ෂා කර ඇති අතර සියල්ල රෙගුලාසිවලට අනුව සිදුකර ඇත.

ගින්නෙන් මියගිය 40 දෙනා නිවැරදිව හඳුනාගැනීම සඳහා බලධාරීන් තවමත් කටයුතු කරමින් සිටින අතර, පොලිස් අණදෙන නිලධාරී ෆ්‍රෙඩ්රික් ගිස්ලර් පවසන්නේ එය ප්‍රමුඛතාවක් සේ සළකන බවයි.

ගින්නෙන් තුවාල ලැබූ බොහෝ දෙනෙක් තවමත් බරපතළ තත්ත්වයේ පසුවන අතර ජීවත් වීමට සටන් කරමින් සිටින බව වලයිස් කලාපයේ සභාපති මතියස් රෙනාඩ් පැවසීය.

තුවාල ලැබූවන්ගෙන් 113 දෙනෙකු හඳුනාගෙන ඇති බව ගිස්ලර් පැවසීය.

ඊට ස්විට්සර්ලන්ත පුරවැසියන් 71 ක්, ප්‍රංශ ජාතිකයන් 14ක් සහ ඉතාලි ජාතිකයන් 1 ක් මෙන්ම සර්බියානුවන් හතර දෙනෙකු ඇතුළත් වේ.

තවත් හය දෙනෙකු හඳුනාගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙමින් පවතින බව ඔහු පැවසීය.

තුවාල ලැබූ පුද්ගලයන් 50 දෙනෙකු පමණ දරුණු පිළිස්සුම් සඳහා විශේෂිත යුරෝපීය රටවල මධ්‍යස්ථානවලට දැනටමත් මාරු කර හෝ ඉක්මනින් මාරු කරන බව රෙනාඩ් පැවසීය.

තුවාල ලැබූවන් අතර ප්‍රංශ පාපන්දු ක්‍රීඩක 19 හැවිරිදි ටහිරිස් ඩොස් සැන්ටොස් ද සිටින බව ඔහුගේ පාපන්දු සමාජය වන FC මර්ට්ස් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

ඩොස් සැන්ටොස් ගින්නෙන් දැඩි ලෙස පිළිස්සී ඇති බවත්, ප්‍රතිකාර සඳහා ජර්මනියට ගුවන් මගින් ගෙනගොස් ඇති බවත් එම සමාජය පැවසීය.

ගින්නෙන් පසු අතුරුදහන් වූවන්ගේ පවුල් තවමත් නිලධාරීන්ගෙන් තොරතුරු ලැබෙනතුරු බලාපොරොත්තුවෙන් පසුවෙයි.

අතුරුදහන් වූවන් අතර ඉතාලි ජාතික අචිල් බරෝසි (16) ද සිටී.

ඔහු අලුත් අවුරුදු දිනයේ දේශීය වේලාවෙන් 01:30ට ඔහුගේ ජැකට්ටුව සහ දුරකථනය ලබාගැනීමට අවන්හලට ඇතුළු වී තිබේ.

එතැන් සිට ඔහුගේ පවුලේ අයට ඔහුගෙන් කිසිදු ආරංචියක් ලැබී නැත.

සිකුරාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, නිලධාරීන් පැවසුවේ ‘ආපදා වින්දිතයන් හඳුනාගැනීම’ නම් ක්‍රියාවලියක් භාවිත කරමින් වින්දිතයන් හඳුනාගන්නා බවයි.

එහිදී අධිකරණ වෛද්‍ය විශේෂඥයන්, වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන් සහ විමර්ශකයන් කණ්ඩායමක් මියගිය අයගේ නම් හඳුනාගැනීමට ඉඩ සලසන දත්ත රැස් කරනු ලැබේ.