May 2, 2025

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබේ.

මේ බව අනාවරණ වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පිළිබඳ වාර්ෂික දත්ත ප්‍රකාශයට පත්කරන ලද ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වාර්තාවලට අනුවය.

2024 ජුනි 30 වනවිට, ඕස්ට්‍රේලියාවේ ඇස්තමේන්තුගත නේවාසික ජනගහනය මිලියන 27.2 ක් වූ අතර, ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ මිලියන 18.6 ක ජනතාවක් සහ විදේශ රටවල උපත ලද මිලියන 8.6 ක ජනතාවක් ඒ අතරට අයත් වේ.

ඇස්තමේන්තු කර ඇති පරිදි 2024 දී ශ්‍රී ලංකාවේ උපත ලැබූ පුද්ගලයන් 172,000 ක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ බවට වාර්තා වී ඇත.

කොවිඩ් වසංගතය සහ ඒ ඔස්සේ දේශසීමා වසාදැමීම් හේතුවෙන් 2021 වසරේදී ඕස්ට්‍රේලියාවේ දිවි ගෙවූ විදේශිකයගේ අඩුවීමක් පෙන්නුම් කර ඇත.

ඕස්ට්‍රේලියාවේ උපත නොලැබූ, එහෙත් එරට වැඩි වශයෙන් වෙසෙන පුද්ගලයන් අයත් රටවල් ලෙස වාර්තා වී ඇත්තේ එංගලන්තය, ඉන්දියාව, චීනය, නවසීලන්තය සහ පිලිපීනයයි.

2024 දක්වා වසර 10ක කාලය තුළ ඕස්ට්‍රේලියාවේ වෙසෙන එතෙර උපන් ජනගහනයේ විශාලතම නියෝජනය ඉන්දියාව, චීනය, පිලිපීනය සහ නේපාලයේ උපන් පුද්ගලයන් වේ.

1901 වසරෙන් පසු ප්‍රථම වතාවට ඉතාලිය එම රටවල් ලැයිස්තුවෙන් ඉවත් වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන එතෙර උපන් ජනගහනයේ මධ්‍ය වයස 2004 දී වයස අවුරුදු 46 ක් වූ අතර එම වයස් සීමාව 2024 දී අවුරුදු 43 දක්වා අඩුව තිබේ.

ඕස්ට්‍රේලියාවේ උපන් ජනගහනයේ මධ්‍ය වයස 2004 දී වයස අවුරුදු 32 සිට 2024 දී 35 දක්වා ඉහළ ගොස් තිබේ.

ඕස්ට්‍රේලියාවේ ජනගහනය විදේශයන්හි උපන් සංඛ්‍යාව සඳහා ලෝකයේ අටවැනි ස්ථානයට පත්ව ඇත.

අන්තර්ජාතික සංක්‍රමණිකයන්ගේ විශාලතම ජනගහනය ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.

ඇස්තමේන්තුගත වාර්තා අනුව අමෙරිකාව තුළ වෙසෙන එරටින් පිටතදී ඉපදුණු මිලියන 52.4 ක ජනතාවක් සිටියි.