August 24, 2025

ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් මිලදී ගැනීම සඳහා මෑතකදී දියත් කරන ලද මතභේදයකට ලක්ව තිබෙන ටෙන්ඩරය අවලංගු නොකරන බවත් එය සැලසුම් කළ පරිදි ඉදිරියට ගෙන යන බවත් බලශක්ති අමාත්‍යාංශය ඊයේ (23) තහවුරු කළේය.

මෙම ටෙන්ඩරය මගින් නිශ්චිත සැපයුම්කරුවකුට අසාධාරණ වාසි ලබා දීමට පසුබිම සකස් කරන බවට විපක්ෂ මන්ත්‍රී ඩී.වී. චානක පසුගිය සතියේ රජයට චෝදනා කර තිබිණි.

පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක සඳහන් කළේ සම්මත ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සති හයක් පැවති බවයි.

මෑත කාලීන කැබිනට් තීරණයක් මගින් මෙම කාලය සති පහ දක්වා අඩු කර තිබිණි.

කෙසේවෙතත්, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සති තුනකින් ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කිරීමට දැන් උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු කියා සිටියේය.

මිලදී ගැනීමේ නියෝගයක් අත්සන් කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා දින කිහිපයක් තිස්සේ සොයාගත නොහැකිව සිටි බව චානක තවදුරටත් හෙළිකළේය.

“සභාපතිවරයා දැන් ඉල්ලා අස්වීම ඉදිරිපත් කරලා,” ඔහු තවදුරටත් පැවසීය.

එක් සැපයුම්කරුවකුට වාසිදායක වන පරිදි රජය අන්තර්ජාතිකව පිළිගත් ටෙන්ඩර් ක්‍රියාපටිපාටි මඟ හරිමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.

චෝදනා ප්‍රතික්ෂේප කරමින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල අවධාරණය කළේ ක්‍රියාපටිපාටියේ කිසිදු අක්‍රමිකතාවයක් නොමැති බවයි.

“අපි නිවැරදි ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඇති නිසා අවලංගු කිරීමට කිසිදු හේතුවක් නැහැ,” යැයි ඔහු පැවසීය.

නව ටෙන්ඩරය අගෝස්තු මැද භාගය වන විට ප්‍රචාරය කරන බව ලංකා ගල් අඟුරු සමාගම මීට පෙර තහවුරු කර තිබිණි.

2024/’25 ටෙන්ඩරය අවස්ථා ගණනාවකදී දිගු කිරීමෙන් පසු පසුගිය වසරේ ජූලි 8 වැනිදා නිල වශයෙන් අවසන් කරන ලදී.

ඒ තරතුර වාර්තා වුණේ නොරොච්චෝලේ බලාගාරයේ ගල් අඟුරු තොග ජනවාරි දක්වා පමණක් ප්‍රමාණවත් බවයි.

දිගුකාලීන ටෙන්ඩරය යටතේ මෙම වසරේ ජූලි අවසානය වන විට, ගල් අඟුරු තොග 15ක් පමණ ලැබීමට නියමිතව තිබිණි.

වත්මන් සංචිත නොවැම්බර් මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, දැනට ඇති සැපයුම 2026 ජනවාරි දක්වා පමණක් පවතිනු ඇත.

ශ්‍රී ලංකාවේ මුළු විදුලියෙන් 40%ක් පමණ වන මෙගාවොට් 900කට ආසන්න ප්‍රමාණයක් ජනනය කරන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය රෝලිං නඩත්තු කටයුතුවලට භාජනය වෙමින් පවතින අතර එමඟින් ජාලක ස්ථායිතාව තවදුරටත් අඩාල වේ.

ජුනි 13 වැනිදා, තුන්වැනි උත්පාදක යන්ත්‍රය දින 25ක් ක්‍රියා විරහිත කිරීමත් සමග පද්ධතියෙන් මෙගාවොට් 300ක් ඉවත් විය.

එය යථා තත්ත්වයට පත්කළ පසු, පළමු උත්පාදක යන්ත්‍රය වසා දමනු ලැබේ.

ජූලි මැද භාගයේදී, ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා ටෙන්ඩර් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය.

මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කණස්සල්ල පළ කළේය.

නුගේගොඩ දී මාධ්‍ය අමතමින්, එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කෙටි කළ ටෙන්ඩර් කාලය කලින් තෝරාගත් පාර්ශවයන්ට ප්‍රතිලාභ සැලසීම සඳහා හිතාමතාම නිර්මාණය කර ඇති බවට චෝදනා කළේය.

“හදිසි අවස්ථාවක් පදනම් කරගෙන රජය මෙය සාධාරණීකරණය කරනවා, නමුත් එම හදිසි අවස්ථාව කුමක්ද යන්න පැහැදිලි කිරීමට අපොහොසත් වී තිබෙනවා,” යැයි ඔහු පැවසීය.

පෙබරවාරි-මාර්තු කාලය වෙනුවට ටෙන්ඩර් ප්‍රකාශයට පත්කිරීම අගෝස්තු මාසය දක්වා ප්‍රමාද වීමෙන් ගල් අඟුරු තොග ලැබීම නොවැම්බර් දක්වා ප්‍රමාද විය හැකි බවට ජයගොඩ අනතුරු ඇඟවූයේය.